අකිලීස් සහ පැට්‍රොක්ලස්(Achilles and Patroclus), හාමොඩියස් සහ ඇරිස්ටොගිටන්( Harmodius and Aristogiton), පොලොපිඩස් සහ එපමිනොන්ඩස්(Pelopidas and Epaminondas), ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්(Alexander and Hephaestion) ප්‍රසිද්ධ ග්‍රීක සමරිසි යුවල වේ. ඇරිස්ටෝටල් විසින් මියයන තුරුම එකම වහලක් යට ආදරයෙන් ජීවත් වුණු පිලෝලස් සහ ඩයොක්ලීස්(Philolaus and Dioclese)නම් සමරිසි යුවලක් ගැන වර්ණනා කර ඇත. හමුදාවක් වූ සමරිසි යුවල 150කින් සැදුම්ලත් තිබීසයේ පූජනීය කණ්ඩායම (Sacred Band of Thebes) එකල ග්‍රීසියේ සමලිංගිකත්වය පිළිගැනුණු බවට හොඳම සාක්ෂියකි. පසුකාලීනව ගොඩනැගුණු ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක අධිරාජ්‍යය තුළ සමලිංගිකත්වය පිළිබඳ ධනාත්මක ආකල්පයක් තිබුණු අතර එය ආසියාවටද පැතිරගියේය.
පුරාණ රෝමයේ සිදුකල සමලිංගික විවාහයක්
බොහෝ දෙනෙකු සිතන්නේ සමලිංගික විවාහ යනු නව සංකල්පයක් බවයි. එහෙත් පුරාතන චීනයේ සහ රෝමයේ සමලිංගික විවාහ පවා සිදුවී ඇති බව සඳහන්වේ. නීරෝ(Nero) සහ එලගැබලෝස්(Elagabalus) සමලිංගික විවාහ සිදුකරගත් රෝම අධිරාජ්‍යයන් දෙදෙනෙකි. තවත් රෝම අධිරාජ්‍යයකු වූ හේඩ්‍රියන්(Hadrian) සහ ඔහුගේ පෙම්වතා වූ ඇන්ටිනුවස්(Antinous) අතර ප්‍රේමයද ඓතිහාසික එකකි. දකුණු චීනයේ මිං රාජසමයේ ඇතැම් කාන්තාවන් සහ පිරිමින් උත්සව හරහා සමලිංගික දිවියකට එළඹී ඇත.
තම ආගමික නායකයා සමඟ ස්වදේශික ඇමරිකානුවන්
අතීත දකුණු ඇමරිකාවේ ඇස්ටෙක්, මායා, ක්වේචුවා වැනි ශිෂ්ටාචාරවල සමලිංගිකයින් සමාජයේ විවෘතවම පෙනීසිටියහ.අප්‍රිකාවේ ලෙසෝතෝ සහ කොංගෝ යන රටවල්වල යටත්විජිත කරණය වීමට පෙර දිගු කාලීන සමලිංගික සබඳතා පැවති බවට සාක්ෂි ලැබී ඇති අතර පැපුවා නිව්ගිනියාවේ සහ පැසිෆික් දූපත්වල විෂමලිංගිකත්වය වෙනුවට සමලිංගිකත්වය සමරනු ලැබ ඇත.
ස්වදේශික උතුරු ඇමරිකානුවන් විසින් සංක්‍රාන්තිලිංගිකයින්ව තම ආගමික නායකයින් බවට පත්කර ගරු බුහුමන් කර ඇත. අතීත රෝමයේ සහ පර්සියාවේ සමලිංගික ගණිකා මධ්‍යස්ථාන පවා පැවතුණු අතර ඒවාගෙන් බදු අයකරගෙන තිබේ.
වැරන් බඳුන
පැරණි ජපන්, චීන, රෝම, ඉන්දියානු සහ ග්‍රීක ශිෂ්ටාචාරවල විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද කලාවටද පදනම් කර ගැනුණි. ඒ අනුව චිත්‍ර, මූර්ති, කැටයම් සහ සාහිත්‍යය තුළද එය දක්නට ලැබේ.රෝමයේ වැරන් බඳුන එවන් ප්‍රසිද්ධ නිර්මාණයකි. විශේෂයෙන් ග්‍රීක, ජපන් සහ චීන සාහිත්‍යය තුළ ඊට වැඩි ඉඩක් ලැබී ඇත. හෙරඩෝටස්, ප්ලේටෝ, සිනෝපෝන් සහ ඇතේනියස් සමරිසි ප්‍රේමය ගැන පර්යේෂණ කරුණු ලියූහ.ක්‍රි.පූ 6වනසියවසේ ග්‍රීසියේ ලෙස්බෝස්(Lesbos) නම් දිවයිනේ සිටි සැපෝ(Sappho)නම් කිවිඳිය ගැහැණුන් අතර සමරිසි ප්‍රේමය වර්ණනා කරමින් කවි ලියුවාය.
චීනයේ ක්විං රාජ සමයේ ආදරය කරන
පිරිමින් දෙදෙනෙකු දැක්වෙන සිතුවමක්
චීනයේ සූ(Zhou) රාජ සමයේ (ක්‍රි.පූ 1046-256) පිරිමි දෙදෙනෙකු අතර ඇතිවුණු සමරිසි ප්‍රේමකතාවක් චීන සාහිත්‍යයේ සඳහන් වේ. Pan Zhang නමැති කඩවසම් කතුවරයෙකු සහ ඔහුගෙන් ඉගෙනීමට පැමිණි පිරිමින්ගෙන් කෙනෙකු වූ Wang Zhongxian දුටු පළමු මොහොතේ පටන්ම ආදරයෙන් බැඳී අනතුරුව අඹු සැමියන්මෙන් එකම ඇඳ බෙදාගනිමින් එකිනෙකාට මහත් දයාවෙන් ජීවත්වුණු යුවලක් ගැන එහි සඳහන් වේ. මොවුන් දෙදෙන පසුව එකම කාලයක මිය ගොස් ඇති අතර ඉන් මහත් දුකට පත් ජනයා ඔවුන්ව Luofu නම් පූජනීය කන්දක වළදමා ඇත.
පසුව එතැන ආශ්චර්යවත් ලෙස එකිනෙක බදාගනිමින් වැඩෙන අතු දෙකක් සහිතව ගසක් සෑදුණු බව කතාව අවසානයේ කියැවේ.එමෙන්ම 18වන සියවසේ ලියැවුණු චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතාවක් ලෙස සැලකෙන Dream of Red Chamberහි විෂමලිංගික ප්‍රේමය මෙන්ම සමරිසි ප්‍රේමය සහ සමරිසි සබඳතා ගැනද සඳහන් වේ.
ප්‍රංශයේදී සමලිංගිකයින් පණපිටින් පිළිස්සීම
කෙසේවෙතත් කිතු දහම යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමලිංගිකත්වය කෙරෙහි වූ ආකල්පය වෙනස්වන්නට විය. එට හේතුව සමලිංගිකත්වය පාපයක් බව බයිබලයේ දක්වා තිබීමයි. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙස් පිළිගැනීමත් සමඟම සමලිංගිකත්වයට එරෙහිව නීති ගෙන එනු ලැබිණ. ඒ අනුව ක්‍රි.ව. 342දී රෝමයේ දෙවන කොන්ස්ටන්ටියස්(Constantius II) අධිරාජ්‍යයා විසින් සමලිංගික විවාහය තහනම් කරන ලදී. අනතුරුව ක්‍රි.ව 390දී සමලිංගික ක්‍රියාවක යෙදීම සාපරාධී ක්‍රියාවක් ලෙස නම්කරනු ලැබූ අතර ඊට වරදකරුවන් වූවන් ප්‍රසිද්ධියේ පණ පිටින් පුළුස්සා මරාදමන ලදී. රෝම අධිරාජ්‍යයේ ඇතිවුණු දුර්භික්ෂ, භූමිකම්පා සහ වසංගත රෝගවලට සමලිංගිකයින් හේතුවන්නේ යැයි මිථ්‍යා මතයක්ද ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රකාශ කර ඇත.7වන සියවසේදී පල්ලියේ ප්‍රකාශ අනුව ස්පාඥඥයේදී සමලිංගික ක්‍රියාවලට දඬුවම් දෙනු ලැබුවේ කර ඇඹීම, පිටුවහල් කිරීම, හිස බූ ගෑම සහ කසපහර සියයක් ලබාදීම ආදියෙනි.මෙලෙස කලක් සමලිංගිකත්වයට යුරෝපයේ තිබූ තත්ත්වය හාත්පසින්ම වෙනස් අතකට යොමුවන්නට විය.
සමලිංගිකත්වය පරදාර සේවනය තරම්ම පාපයක් සහ සොබාදහමට එරෙහිවූවක් ලෙස දිගින් දිගටම රෝමානු කතෝලික පල්ලිය විසින් හංවඩු ගසනු ලැබිණ.තෝමස් ඇක්වයිනාස්( Thomas Aquinas) නම් පූජකයා සමලිංගිකත්වය මිනීමැරීමට පමණක් දෙවෙනි වන පාපයක් බවට තර්ක කළේය.
14වන සියවස ලබනවිට යුරෝපය පුරාම කිතු දහම පැතිර ගොස් තිබුණු අතර ඒ අනුව පෝලන්තය ආදී ප්‍රදේශ කීපයක් හැරුණු කොට මුළු මහත් යුරෝපයම සමලිංගික ක්‍රියාවකට මරණ දඬුවම දෙන තත්ත්වයට පත්වී තිබුණි. මේ දඬුවම් මධ්‍යතන යුගය, පුනරුද යුගයේ සිට 18වන සියවස දක්වාම යුරෝපය තුළ පැවතුණි.
Knight Richard von Hohenberg සහ ඔහුගේ පෙම්වතා
පණපිටින් පුළුස්සා මරා දැමීම
මෙම නීති දරුණුම අන්දමින් ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රංශයේ සහ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේය. ෆ්ලොරන්ස් නගරයේ සිටි ගියොවානි ඩි ගියොවානි(Giovanni di Giovanni)නම් තරුණයකු ප්‍රසිද්ධියේ කර අඹා ගිනියම් වූ යකඩයකින් කලවා සහ ගුද මාර්ගය පිළිස්සීම, 1482දී රිචඩ් වොන් හොහෙන්බර්ග්( Knight Richard von Hohenberg ) නම් නයිට්වරයෙකු ඔහුගේ පෙම්වතා සමඟ ජර්මනියේ සූරිච් නගරයේදී පණපිටින් පුළුස්සා මරාදමනු ලැබීම, වංශාධිපතියෙකුගේ පුතෙකු පොළඹවා ගැනීමට යාම නිසා ප්‍රංශ කතුවරයෙකු වූ ජැක් චෝසන්(Jacques Chausson 1618–1661) පණපිටින් පුළුස්සා මරා දැමීම එකල අමානුෂික අන්දමින් ලබාදුන් දඬුවම් කිහිපයකට උදාහරණ පමණි. ලියනාඩෝ ඩාවින්සි පවා 1476දී සමලිංගික චෝදනාවක් ලැබ ඉන් නිදොස් වූ බව එකල උසාවි වාර්තාවක තිබී හමුවී ඇත.
ඉන්දියාවේ මෝගල් යුගයේ සිතුවමක්
7වන සියවසේදී අරාබියෙන් ඉස්ලාම් දහම් ව්‍යාප්තවීම ඇරඹුණු අතර අරාබීහු මොරොක්කෝවේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යක් ගොඩනැගීය.
කුරාණයේ සඳහන්වන පරිදි සමලිංගිකත්වය දඬුවම් ලබා දිය යුතු පාපයක් බැවින් කාලිෆ් අල්-හයිඩි යටතේ ක්‍රි.ව. 785දී මුළු මහත් අරාබි අධිරාජ්‍යය පුරාම සමලිංගිකත්වයට මරණ දඬුවමක් දීම නීතිගත කෙරිණි. එවන් නීති සමහර මැදපෙරදිග රටවල්වල වර්තමානය වන තුරුම පවතියි. එහෙත් යුරෝපය සහ අරාබිකරය තුළ තත්ත්වය මෙසේ වුවත් ලොව අනෙක් ප්‍රදේශවල සමලිංගිකත්වය කෙරෙහි කිසිදු තහනමක් දක්නට නොලැබුණි.
ස්පාඥ්ඥවරුන් විසින් දකුණු ඇමරිකාවේ කළ ඝාතන
පසුව 15වන සියවසෙන් ඇරඹි දේශ ගවේෂණ යුගයේදී ස්පාඥ්ඥ, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයෝ ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් යටත් කරගන්නට පටන් ගත්හ. තම තමන්ගේ යටත්විජිතවල තම ආගම, සංස්කෘතිය සහ නීතිය ස්ථාපිත කිරීමට යුහුසුළු වූ යුරෝපීයයෝ ඒ අනුව සමලිංගිකත්වයට එරෙහිව එම යටත්විජිත වලද නීති ස්ථාපිත කළහ. ඒ අනුව ස්පාඥ්ඥයෝ ක්‍රි.ව. 1540 සහ 1700 අතර කාලයේ දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරවල සිටි සමලිංගිකයින් 1600කට අධික පිරිසක් බල්ලන් ලවා කැවීමෙන් සහ පිළිස්සීමෙන් මරාදමනු ලැබූහ. 1533දී එංගලන්තයේ අටවන හෙන්රි රජු විසින් පනවන ලද නීති පද්ධතිය යටතේ ඉංග්‍රීසින් විසින් තම අධිරාජ්‍යය තුළ පිරිමි සමලිංගිකයින්ව 1861 දක්වාම එල්ලා මරාදමනු ලැබිණි. කාන්තා සමලිංගිකත්වය සිදුවිය නොහැක්කක් ලෙස එංගලන්තයේ පිළිගෙන තිබූ නිසා එයට එරෙහිව නීති පැනවුණේ නැත. මෙලෙස මෙපමණකල් සාමාන්‍යකරණය වී තිබූ සමලිංගිකත්වය යුරෝපීයයන් නිසා සාපරාධීකරණය වීමක් ලොවපුරා සිදුවිය. කතෝලික සහ ඉස්ලාම් ආගම් වල බලපෑම නිසා චීනයේද එම ආකල්ප වෙනස් වන්නට විය. චීනයේ ක්විං(Qing) රජ සමයේදී(1644-1912) හා ජපානය 1873දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණ.නමුත් 1880දී ජපානය එම නීති ඉවත් කළේය.
No comments:
Post a Comment