Friday, May 12, 2017

නිර්මාණාත්මක සන්නිවේදනය - 01 ලිපිය - තාරිකා තත්සරණිගේ අස්න තුළින්

තාරිකා තත්සරණිගේ අස්න තුළින්

නිර්මාණාත්මක සන්නිවේදනය - 01 ලිපිය

අපූර්ව වස්තු නිර්මාණය සඳහා කලාකරුවකු තුළ පවතින කුසලතාව හඳුන්වනු ලබන්නේ ‘ප්‍රතිභාව’ හෙවත් ‘ප්‍රතිභානය’ යනුවෙනි. මේ දුර්ලභ නිර්මාණ කුසලතාව කෙබඳුද යන්න මතුපි‍ටින් වටහාගත නොහැක්කකි. එහි ප්‍රාචීනවාදී අර්ථ සමුදායක් ඊට සමාන හා අසමාන ප්‍රතිචීන අර්ථ සමුදායක් තුලනය කළ යුතුය. ඒ තුලනය විද්වතුන් මඟින් සිදුකෙරේ.ප්‍රතිභානය’ ශාස්ත්‍රීය ලිපි ලේඛන සැපයීම ඉක්මවූ තලයක පවතී. කාව්‍ය ප්‍රභේදවශයෙන් බුදුන්වහන්සේ කවි සූත්‍රයේ පෙන්වා දෙන්නේ අර්ථ කවිසුත කවිචින්තා කවි සහ ප්‍රතිභාන කවිය. ඒ සිව් ප්‍රභේදයන්ගෙන් වඩාත් අපූර්ව කුසලතාව පෙන්නුම් කරන්නේ ප්‍රතිභාන කවිවලය. මෙය ‘කාව්‍යය’ යනුවෙන් හඳුන්වන නිර්මාණ විශේෂයට මෙන්ම ඒවායේ නිමැවුම්කරුවන් හඳුන්වන කවීන්ට ද යොමු වේ.
කලා නිර්මාණ හා සාහිත්‍ය නිර්මාණවල අර්ථ පරිණාමය වෙනස්වී පවතී. චිත්‍ර කලාවනර්තන කලාව,මූර්ති කලාව වැනි කලා නිර්මාණවලට වෙනස් වූ එහෙත් සමාන නිර්මාණ චින්තාවන් ගෙන් සැදුම්ලද කාව්‍යයනාටකයනවකතාවකෙටිකතාව වැනි ලිඛිත සන්නිවේදනාංග මෙහිලා වර්ගීකරණය කළ හැකිය. පෙර පටන්ම කතා වර්ග ආඛ්‍යාන හා වෘත්තාන්ත වශයෙන් ද සැලකේ.ආඛ්‍යානය හා වෘත්තාන්තය ද බහුවිධය. ඒවායේ කතා වස්තු මෙන්ම ජීවන අනුභූතීන් ද අන්තර්ගත ය. විටෙක සමාජ සත්තාවෙන් ද විටෙක ආගමික හා ආධ්‍යාත්මික සත්තාවෙන් ද පිරිපුන් ය. නිර්මාණශීලී ගුණාංග ඒක රේඛීය මෙන්ම බහු රේඛීය වශයෙන් ද සැලකේ. මේ නිර්මාණ හැඩතල කෙමෙන් සමාජ පරිණාමයන්ට හා සංස්කෘතික පරිණාමයන්ට අනුකූලව වෙනස් වේ. ඒ නිර්මාණාංග පිළිබඳව පවතින දැක්ම මෙන්ම ආකල්ප ද බහුවිධ ය.
සම්මත අර්ථවලින් මෙන් ම අසම්මත අර්ථවලින් ද ගහණ ය. නිදසුන් සපයාගත හැක්කේ සමාජඉතිහාසයට අනුකූලව ය. නිදසුනක් වශයෙන් ගතහොත් පියදාස සිරිසේන කතුවරයාගේ නවකතා හා ඩබ්ලිව්.ඒ.සිල්වාගේ නවකතා පිළිබඳ දැන් කතාබහක් දැක ගත නොහැකි ය. ඒවා සම්මත කතා රටාවලින් සුසැදිනැයි සැලකේ. එහෙත් ඉන් සිදුවූ මෙහෙවරක් නොමැති යයි බැහැර කළ නොහැකි ය. එහෙත් එසමයේ දී ම බිහිවූ බහුතරයක් වූ වෙනත් නවකතා බොළඳ ප්‍රලාප ලෙස සලකා බැහැර කළ හැකි ය. එය සිදුවූයේ කෙසේදසහෘදයාගේ මන දොළ සන්සිඳවීමට මෙන්ම ජීවන දැක්මක් ඇති කරවීමට නොසමත් වූ බහුතර නිර්මාණ සමුදායක් බැහැර කෙරිණ.මේ සංසිද්ධිය සැසඳිය හැක්කේ ‘පථ්‍ය’ හා ‘අපථ්‍ය’ ආහාරවලට ය. පෝෂණීය ගුණයෙන් සංයුක්ත ආහාර වර්ග පථ්‍ය ආහාර ලෙස සැලකේ. එසේ නොවන කටට රහකිසිදු ගුණයක් නැති ආහාර අපථ්‍ය ආහාර ලෙස සැලකේ. මේ න්‍යාය පළමුව සාහිත්‍ය ලෝකයේ ගෙනහැර දක්වන ලද්දේ රුසියන් මහා වෘත්තාන්තවේදියා වූ ලියෝ තෝල්ස්තෝයි විසිනි. එ‍ෙහත් පොදුවේ ගත් කළ පථ්‍ය හා අපථ්‍ය යනු සරු හා නිසරු වශයෙන් සැලකීමට බාධාවක් නැත.
ඇතැම් නිර්මාණ සරු ලෙස සැලකේ. එසේ නොසැලකෙන නිසරු නිර්මාණ බැහැර කෙරේ. මෙය කලාවිචාරයේ පදනමයි. සරු බව අවශ්‍යතාවකි. අවශ්‍යතාවක් පදනම් කොටගෙන සරු නිර්මාණයක් විනා නිසරු නිර්මාණයක් බිහි නොවේ. මේ කාරණය ප්‍රාචීනවාදී සම්මත සාධු ධර්මතාවකි. අර්නස්ට් ෆිෂර් නමැති ප්‍රතිචීන විචාරකයා ස්වකීය විචාර කෘතිය වන ‘Necessity of Art’ නමැති කෘතියෙහි මේ ධර්මතාව මැනැවින් විග්‍රහ ‍කළේය. එබැවින් කලා නිර්මාණයක අවශ්‍යතාවම එහි සරු හා නිසරු පද්ධතීන් මිනුමකි. එහෙත් එක් සමාජයක් සරු ලෙස සලකන හා පිදුම් ලබන නිර්මාණයක් තවත් සමාජයක් විසින් නිසරු ලෙස ද සැලකේ. සරු හා නිසරු බව ගඳ සුවඳ මෙන් ශික්ෂණයකින් පුහුණු කරනු ලබන්නකි.අර්ථ ශූන්‍ය වූත් නිසරු වූත් දුගඳ හමන අහර බඳුන් පහක් මේසයක් මත තබා මින් කිනම් බඳුනක් සරුදැයි කෙනකුට හඳුනාගැනීමට ඉඩ සැලැස්වීමෙන් කුමක් සිදුවේදකිව යුත්තේ ඒ අහර දුගඳ හමන පථ්‍ය අහර නොවන වැළලිය යුතු බුදීමෙන් වැළැකිය යුතු අහර බවයි. අහර රුචිය ඇති කෙනකුට වුවද ඒ දුගඳ හමන අපථ්‍ය ආහාර නොසුදුසු බව කිව යුතුය.
කලා නිර්මාණශිල්පියාට වඩා කලා විචාරකයාගේ කාර්යය ද මීට සමාන ය. අපථ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම පහසු ය. ඒවා අපථ්‍ය බව මෙරමාට පෙන්වාදීම ‍බැරෑරුම් කාර්යයක් බව පසක් කර ගත යුතු ය. අපථ්‍ය ආහාර අනුභව ‍නොකටයුතුය කීම මෙන්ම අපථ්‍ය කලා නිර්මාණ වින්දනය නොකිරීමට පුහුණු කිරීම ද අපහසුය. මෙය තවදුරටත් බලන කල ප්‍රමිති කරණයකි. ප්‍රමිතිකරණය වර්ගීකරණයකි.කලා නිර්මාණ වින්දනයනිර්මාණ හා ඇගයුම කෙමෙන් පුහුණු කළ යුතු ධ්‍යාන මාර්ගයකි. එය වූ කලි ඕලාරික ලෝකාස්වාදී මාර්ගවලින් කෙමෙන් ධ්‍යාන මාර්ගයකට ප්‍රවේශවීමකි. රොබට් ප්‍රොස්ට් කාව්‍ය වින්දනය ගැන කළ ප්‍රකාශය නම් “Commence in delight and end in wisdom” යන්න මා සිංහලට වතාවක් පෙරළුවේ “ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙළවරවීම” වශයෙනි.
එහෙත් මගේ එම පරිවර්තනය බොහෝ දෙනා කල්පනා කළේප්‍රාචීනවාදී සකු විචාර මතයක් වශයෙනි. අන්තිමට එහි මුල් ප්‍රකාශකයාගේ නම පවා නොයෙදුණු අවස්ථා බෙහෙවි. කෙමෙන් කායික හා මානසික සහනයක් නොසළකන නිර්මාණ අපථ්‍ය ආහාරවලට තවදුරටත් සමාන වන අයුරු හඳුනාගැනීමට නම් ඒ අපථ්‍ය ආහාර බුදින්නන්ගේ චර්යා පද්ධතිය හඳුනාගත යුතුය. යම් අපථ්‍යදායී ආහාරයක් මිනිසුන්ට නොසුදුසු වුවත් ඌරන්බල්ලන්බළලන් හා පණුවන් වැනි අන්‍ය සත්වයන්ට සුදුසු වනු ඇත. ප්‍රඥාසම්පන්න මිනිසාට අගෝචර දෑ මුග්ධ නැණ හීනයන්ට සුදුසු විය හැකිය. එහෙත් විටෙක මිනිසාටනොගැළපෙන අපථ්‍ය දුගඳ ආහාර සතුන් විසිනුදු ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථා දැක බලාගත හැකි ය.
අපූරු වස්තු නිර්මාණය ප්‍රඥා සම්පන්න තලයකින් කෙළවර වන ශික්ෂණයකින් ගොඩනැඟුණු කලා කෘති විශේෂ‍යකි. ප්‍රාචීනවාදී නිර්මාණ සම්ප්‍රදායන්ට අනුකූලව ‘අපූර්ව’ යනුවෙන් හඳුන්වා ඇත්තේ වින්දනය,පෝෂණයප්‍රඥාව හා ප්‍රතිකාර හෙවත් චිකිත්සාව අන්තර්ගත සාධක සහිතවය.ලියෝ තෝල්ස්තෝයි කුඩා උපමා කතාවක් ලියමින් හඳුන්වාදුන් සාධක සිහිපත් කරගත හැකිය. වෙළඳපොළට පැමිණෙන මහලු කාන්තාවක් බටර් මිලදී ගනියි. එහෙත් ඒ බටර් ප්‍රමිතියෙන් බාල පෝෂණ හීනවර්ගයක් බව ඇය හඳුනාගනියි. ඒ අවබෝධය ඇයට සන්නිවේදනය කිරීමට ඉමහත් බාධක පවතී. ඇගේ හඬ වසා දමන්නට පළමුව සැරසෙන්නේ ඒ බාල වර්ගයේ බටර් විකුණන වෙළෙන්දෝ ය. ඊළඟට ඔවුන්ගේ හිතවත්තු ය. ඇය ගෙන යන්නේ තනි සටනක් වුවද එය නැණවත් ය. ඇයට එරෙහිව පැනනැ‍ඟෙන විරෝධාකල්ප වින්දනයෙන් තොර ළාමක නැණ හීන ප්‍රකාශනයන් ය. ඒවා සම්මත වාණිජ රැල්ලේ ප්‍රකාශනයන් ය. මේකාරණය ම බුදුන්වහන්සේ ද ‘බහුභාතී’ සූත්‍රයේ වෙනත් අයුරකින් ප්‍රකාශ කළ සේක. වෙ‍ළඳපොළේ ඉල්ලුමට සරිලන නිර්මාණ භාණ්ඩ සැපයීම ප්‍රඥාසම්පන්නශික්ෂණයකින් සුසැදි නිර්මාතෘවරයකුට කළ නොහැක්කකි.
නිමැවුම්කරුවා හෙවත් නිර්මාණශිල්පියා සිදුකරන්නේ පෙලඹවීමකි. මෙය ප්‍රතිචීනවාදී චින්තකයන් විසින් හඳුන්වනු ලබන්නේ persuasion හා motivation යන යෙදුම්වලිනි. තමන්ගේ නමින් ම පෙනී නොසිටිමින් ජන කවියා මෙන්ම ජනකතාකරුවා කළේ පෙලඹවීමකි. තමන් මුහුණදුන් අත්දැකීමක් වදනින් මෙරමාට සන්නිවේදනය කිරීමේ අග්‍රගණ්‍ය ජනමැවුම්කරුවා සාන්තුවර‍ෙයකුගේ තත්ත්වයට පත් විය.
ජනශ්‍රැතිය නමැති විෂයය මේ හේතුවෙන් නිර්මාණකරණයේ ප්‍රාථමික මූලාශ්‍ර භූමිය බවට පත්වේ. ජනශ්‍රැතිය නූගන්වා හා නූගැන්මෙන් නිර්මාණකරණය වටහාගත නොහැකිය. ආදිතම ග්‍රීක නාට්‍ය රචකයා වන ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය ග්‍රීක ජනශ්‍රැතියෙන් උගත් නිමැවුමකි. මෙලෙසින්ම හෝමර්ගේ ඊලියඩ් සහ ඔඩිසි කාව්‍ය ග්‍රීක ජනශ්‍රැතියෙන් උපන් කෘතීන්ය.ආගමික චින්තකයා හෙවත් ආගමික සන්නිවේදකයා ද ජනශ්‍රැති‍ෙය් පෝෂණය ලත් කෙනෙකි. බුදුන් වහන්සේයේසුස් වහන්සේ හා වෙනත් ආගමික නායකයෝ ජනශ්‍රැතිය තම න්‍යාය සඳහා ගුරුකොට ගත්හ. එමඟින් සවිඥානික ලෙස පෙලඹවීමක් ඇති කළ හැකි විය.
නිර්මාණකරණය විවිධ හැඩතලවලින් යුත් ශිල්පි ක්‍රමවලට හැරවීම මුලින් ම හඳුනාගන්නා ලද්දේ ජන නිර්මාතෘවරුන් ය. සැබෑ ලෝකය මෙන්ම මායා ලෝකයක් ඇති බව ද මිනිස්සු මෙන්ම දෙවිවරුන්,සුරඟනන් හා යකුන් සිටින බව ද හඳුන්වාලනු ලැබුවේ ජන නිර්මාතෘ විසිනි. ඒ නිර්මාණකරණයේ හැම අංගෝපාංගයක්ම එකිනෙකට බද්ධව පැවැතිණ. ඒවා ජන සමූහයා අතර ප්‍රචලිතව පැවතිණ. කෙමෙන් ඒ නිර්මාණ වර්ගීකරණයට හසුවිය. ජන ගායනාජන ඇදහිලිජන කවි‍ජන නාටකජන ක්‍රීඩාජනකතන්දර සුරංගනා කතාඋපමා කතායනාදී වශයෙන් දහස් ගණනින් ඒවා වර්ගීකරණය වීමේ ප්‍රතිඵලය වශයෙන් සමානකම් හා අසමානකම් පැහැදිලි ලෙස වටහා ගැනීම ද අපහසුවීය. කෙමෙන් ඒ නිර්මාණ දේශකයන්ගේ දේශන මූලාශ්‍ර බවට පත්වීම‍ හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගති. මෙකල ආඛ්‍යාන බලය හා වෘත්තාන්ත බලය නමින් හඳුන්වන නිර්මාණාත්මක කතා කලාව නැරටලොජි (Narratalogyයනුවෙන් නම් කෙරේ. මේ අධ්‍යයනය සඳහා විවිධාකාර රීතින්ගෙන් නිමැවුණු මූලාශ්‍ර සමීප කෙරේ. ඒවා ප්‍රාචීන සමාජ වලින් බිහිවූ මහා භාරතයජාතක කතා මෙන්ම ප්‍රතිචීන සමාජවලින් බිහිවූ කැන්ටබරි කතාවලින් මෙන්ම බයිබල් කතාවලින් ද සංයුක්තය.
මේ සමාජ ස්ථර දෙක්හිම එක් පොදු මූලාශ්‍රයක් වී ඇත්තේ අරාබි ‍නිසොල්ලාසයයි. අරාබි නිසොල්ලාසයArabian nights යනුවෙන් ද One thousand one nights යනුවෙන් ද හැඳින්වේ. මෙහි එන කතන්දර ලොව පුරා විසිරී පැතිරි පවතී. ඒවා විටෙක ආගමික බණ කතාවක මුහුණුවර ගනියි. විටෙක හුදු විනෝදය සපයන සුරංගනා කථාවක මුහුණුවර ගනියි.
එහි පරිවර්තන හා ඡායානුවාද හා ප්‍රත්‍යුත්පාදන රැසක් දැනට පාඨක ලෝකයට ප්‍රවේශ වී පවතී. භාෂා භේදයකින් තොරව ආදි කල්පිත මෙන්ම අතිශය නවීන අනුභූතිවලින් සුසැදි නිර්මාණ සාගරයක් ලෙස අරාබි නිසොල්ලාසය හැඳින්වී පවතී. ස්වදේශික මහා නවකතාකරුවකු වූ ඩබ්ලිව්.ඒ.සිල්වා ද අරාබි නිසොල්ලාස කතාවලින් නොමඳ ආභාසයක් ලද බව ඔහු විසින් කරන ලද පරිවර්තනවලින් ද වටහාගත හැකිය.සිල්වා ශූරීන් ඒ කතා සිංහලට නැඟුවේ ‘එක්දහස් එක් රැයක්’ යනුවෙනි. කොටස් වශයෙන්ප්‍රකාශයට පත්වූයේ 1946 තරම් ඈතදීය. ඊටත් ඉහත දී බෙන්තර ඇල්බට් සිල්වා සූරීන් ද ‘අරාබි නිසොල්ලාසයක්’ සිංහල පාඨකයා අතට පත් කළේය. සිංහල නවකතාකරණය සඳහා අරාබි නිසොල්ලාස ආභාසය ලැබී ඇතැයි හැ‍ඟෙන අවස්ථා අප හමුවේ ඇත.
පසු කල ශූර පරිවර්තකයකු වූ කේ.බී.සුගතදාස විසින් ද “අරාබි නිශානන්දය” නමින් එම කතා සිංහලට පරිවර්තනය කොට 1960 - 62 කාලයේ දී ‘රසවාහිණී’ සඟරාවේ පළ කළේය. පසුව පොතක් වශයෙන් ද බිහිවිය. වෘත්තාන්තවේදය ඉගැන්වීමට අරාබි නිසොල්ලාස කතා මූලාශ්‍ර කොට ගන්නේ එමඟින් නිර්මාණ ධාරා රාශියක් කතිකාවට ලක් කළ හැකි බැවිනි.හෝල්කේන් නමැති ඉංග්‍රිසි නවකතාකරුවා අරාබි නිසොල්ලාස කතාවලට නව ජීවයක් දෙන ලෙසින් කිසියම් වර්ගයක නව වෘත්තාන්තවාදයක් ගුරු‍කොට ගත්තේය. එමඟින් සමකාලීන විඥානය හඳුනා ගැනීමට ඔහු වෑයම් කළේය. මේ කාර්යයට සමාන නිර්මාණ කාර්යයක් ජේම්ස් ජොයිස් නමැති අයිරිෂ් ලේඛකයා අතින් සිදුවිය. ඔහු ඇතැම් සුරංගනා කතා ප්‍රත්‍යුත්පාදනය කළේය.
අරාබි නිසොල්ලාසය මෙන්ම පංචතන්ත්‍රයහෝමර්ගේ ඉලියඩ් හා යුලිසිස් යන කෘතින් ද නව වෘත්තාන්තවේදී මූලාශ්‍ර සමුදායක් වශයෙන් සැලකේ‍. නූතන ඉන්දීය නිර්මාණ සාහිත්‍ය වර්ධනයට අතිශයින් වැඩදායක වී ඇත්තේ පංචතන්ත්‍රයකථාසරිත් සාගරයමහාභාරතය හා ජාතක කතාය. ජනශ්‍රැතියේ නිර්මාණාංග සමඟ මේ මූලාශ්‍රයන් හි නිර්මාණයන් චලනය කිරීම නිරතුරු සිදුවේ.ආගමික චින්තාවන්ගෙන් හැඩ ගැසුණු ජනශ්‍රැතිය යටකී හැම මූලාශ්‍රයකටම බලපෑවේය. පෙරළා ඒ බලපෑම අද්‍යතන නිර්මාණකරණයට ද බලපාමින් පවත්නේය. මේ කාරණය ඉතා මැනවින් ප්‍රකාශ කර ඇත්තේ ජෝසප් ජේකබ්ස් විසින් ලියන ලද ඉන්ඩියන් ෆෙයරි ටේල්ස් (Indian Fairy talesනමැති කෘතියෙහි ය. ඔහු සුරංගනා කථා හා ජනකතා නූතන නිර්මාණ හා සන්සන්දනය කරයි. සියවස් ගණනාවක පරතරයක් ඇතිවුවද ‘නවීන’ (Newයනුවෙන් හඳුන්වන නිර්මාණාංගවල ආදිතම ලක්ෂණ රැසක් දැකගත හැකි බව ජේක්ස් ඩෙරිඩ් නමැති කලා විචාරකයා පෙන්වාදෙයි. එහෙත් ඩෙරිඩ්ගේ මතය ප්‍රාචීනවාදී උගතුන්ට ආගන්තුක නොවන්නේය. මන්දයත් ප්‍රාචීනවාදී අද්‍යතන හා චිරන්තන නිර්මාණ සම්ප්‍රදායන්හි සදාතනික මානව අත්දැකීම් සමුදායක් දැකගත හැකි වන බැවිනි.
ප්‍රාචීනවාදී උගතුන්ට අනුවසම්භාව්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේසදාතනික අගයක් ඇති නිර්මාණාංගයන්ය. ඒවා ප්‍රතිචීනවාදී සමප්‍රදායන්හිදී හඳුන්වනු ලබන්නේ ‘ක්ලැසික්ස්’ (Classic)යනුවෙනි. එහි සම්මත අරුත නම් සැමදා පවතින හෙවත් ‘සදාතනික’ යන්නයි. සම්භාව්‍ය කෘතීන් ලෙස සැ‍ලකෙන නිර්මාණ කලින් කල පුනර්ගවේෂණයට හා පුනර්නිර්මාණයට හසුවිම දැන් දැන් සිදුවන්නකි.මිනිස් දිවිපත්ලේ දුරාතීතයේ සිට මේ වනතුරු කිසිවක් නව්‍ය නොවේ. නව්‍ය දෘෂ්ටිය යනු ආකල්පයක් පමණි. නව්‍යභාවය හෙවත් අලුත්බව දැකගත හැකි වන්නේ ඒ සදාතනික දිවිපත්ල අර්ථකථනය වන ආකාරයෙනි. අතිශයින් අද්භූත ස්වභාවයකින් පවතින අත්දැකීමක් යථාර්ථයේම ප්‍රතිබිම්බයක් නොවිය හැකිදනූතන වෘත්තාන්තවේදයක් සැකසීමට එම දැක්ම අවශ්‍යය. මේ බව පසක් කරගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ස්වකීය අපූරු නිර්මාණය වන ‘විලාසිනියකගේ ප්‍රේමය’ (1988)කෘතියේ පූර්විකාවේ මෙසේ සඳහන් කරයි.
ජාතක පොත වූ කලී ජීවිතය පිළිබඳ මූල ද්‍රව්‍ය ආකරයකි. මිනිසුන්ගේ විවිධ චරිත ලක්ෂණ (එනම් එක සමාන අවස්ථාවට මුහුණ දෙන විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ක්‍රියාකරන හැටි) මිනිසුන් තම සිත්හී නංවන පාපී සිතුවිලි සමඟ සටන්කොට ඇතැම් කෙනකු ජයගන්නා හැටිත් ඇතැම් කෙනකු පරාජය වන හැටිත් මේ ආදී වශයෙන් අපට අප කෙටි ජීවිත කාලය තුළදී පසක්කරගත නොහැකි ප්‍රමාණයේ පෘථුල ජීවිත පරිඥානයක් ජාතක පොතෙහි ජනකථා වලින් හෝ එවැනි කථා සංග්‍රහයකින් ලබාගත හැකිය. මේ දැනුම ප්‍රත්‍යක්ෂඥානයක් නොවන බව සැබවි. එහෙත් පොතපතින් ලබාගන්නා එම දැනුම ජීවිතයෙන් අප ලබාගත් දැනුම සමඟ සසඳා උරගා බලා අපේම ප්‍රත්‍යක්ෂඥානය බවට පත්කරගත හැකිය.”
අතිශයින් අද්භූත ස්වභාවයකින් මිනිස් දිවිපත්ල විවරණය කැරෙන ග්‍රීක නාට්‍ය රචක ඊස්කිලස්ගේ ‘ප්‍රොමිතියස් බන්ධනය’ කාල්මාක්ස්ගේ ප්‍රියතම කෘතියක් වූයේ එහි අද්භූතයපෙරළා ප්‍රත්‍යක්ෂඥානයක් බවට යථාර්ථවාදීව දැකගත හැකිවූ හෙයිනි. කාල්මාක්ස්මේ පිළිබඳව තම දූවරුන්ට කීවේප්‍රොමිතියස් බන්දනය මඟින් මානවයාගේ සදාතනික ජීවිත අරගලය මැනවින් ප්‍රකාශ වන බවකි. මානව සංහතිය ස්වකීය ජීවන අරගලය දෙවියන් හා සමඟ පවා දිගුකර ඇති බව ඔහු හඟවයි. අද්භූත බලවේග යනුවෙන් මිනිසා පළමුව හැඟවූ දේ කෙමෙන් විද්‍යාත්මක යථාර්ථයක් බවට පත්වීම මින් ගම්‍ය කෙරේ.
තමන් නොදන්නා හැම බලවේගයක් මිනිසා ඉඟි කළේ ‘අදිසි බලවේග’ යනුවෙනි. ඒවා ගුප්ත බලවේග ලෙසත් සැලකුවේය. එහෙත් විද්‍යාත්මක විධික්‍රම හා ග‍ෙව්ෂණ කෙමෙන් ප්‍රචලිත වෙත්ම කලක් පැවැති හැම ‘අදිසි බලවේගයක්'ම යථාර්ථයක් බවට පත්වේ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවීම ඊස්කිලස් නම් වූ රංගවේදියා දැන හැඳිනගත්තේ පුරාණෝක්තියට අර්ථ කථනය කිරීමෙනි.මේ සියල්ල පසුබිම් කොට මාක්ස් සමාජ නිර්මාණ විචාරකයකු වශයෙන් විශද කළේමිනිස් අරගලය සන්නිවේදනය කිරීම සඳහා අද්භූතවාදී පුරාණෝක්ති බඳු මූලාශ්‍ර ගුරුකොටගත හැකි බවකි. මාක්ස් සහ එන්ගල්ස් සමාජ චින්තකයන් වශයෙන් තම මත තහවුරු කරගැනුම සඳහා ආදිතම ආඛ්‍යාන වර්ග ගුරුකොට ගත්හ. එහෙත් ඔවුහු නිර්මාණ විචාර න්‍යායවාදීහු නුවූහ.
ලියොන් ට්‍රොට්ස්කි (1879 - 1940) මේ න්‍යායයන් වඩාත් ප්‍රබල ලෙස භාවිතයට ගනිමින් සිය සමාජ දැක්ම සඳහා සාම්ප්‍රදායික නිර්මාණාත්මක සන්නිවේදන මූලාශ්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. මාක්ස්වාදයේ සාහිත්‍යයික න්‍යායයන් ව්‍යාප්ත කිරීමට ලියෝන් ට්‍රොට්ස්කි කලාව පිළිබඳ කළ දේශන වැඩි බලපෑමක් ඇතිකළේය. ඔහු ආගමික චින්තාව නිසි ඇගයුමකට ලක්කළේය.අපූර්ව වස්තු නිර්මාණය සඳහා ප්‍රාචීන හා ප්‍රතිචීන භේදයකින් තොරව ආගමික චින්තන ධාරාවන් දෙකක් බලපා ඇත. ඉන් පළමුවැනි ධාරාව නම් ආධ්‍යාත්මික හා සදාචාරාත්මක චින්තන ධාරාවයි. දෙවැන්න නම් ආභිධර්මික නුවූ වඩාත් ඕලාරික වූ ලෞකික හැඩතල රැගත් මිත්‍යාවාදී හා අයාලේ ගිය නිර්මාණ චින්තන ධාරාවයි. මෙකී දෙවැන්න අද වුවද නිර්මාණ වෙළඳ ව්‍යාපාරයන් සශ්‍රීක කිරීමට හේතුවන භෞතිකවාදී බලවේග බවට පත්වී පවතී.
මානව හිතවාදී ලෙස මතුපිටින් පෙනුන දමෙකී දෙවැනි ධාරාව අසංස්කෘතික ජනප්‍රිය ලක්ෂණ සමුදායකින් පිරී පවතී. පිරිපුන් මිනිස් අත්දැකීම් කොතෙක් අන්තර්ගත වුව ද මෙකී අයාලේ ගිය නිර්මාණ සම්ප්‍රදාය නිසරු මුඩුබිමෙක වැඩෙන වල්පැළෑටි විශේෂයක් ලෙස සැලකිය යුතුය. ඒවායේ පවතින ක්ෂණික මෝහනයෙන් ඇලලී ගිය ද කලක් ඉතුරු වන්නේ නැත. සුලබ සන්ත්‍රාසය මෙකී දෙවැනි අයාලේ ගිය නිර්මාණවල ප්‍රබල ලක්ෂණයකි. සන්ත්‍රාසය නීච කුහුලකින්ම ඉතිරි වෙතොත් එය නිසරු පලයකි. එහෙත් එහි විකල්පය නම් කුහුලක් ඇතත් ඒ කුහුල මිනිස් හද සන්තානය විවරණය කිරීමටසමත්වීමයි. එබඳු කෘති නිර්මාණය කළෝ නම්ලියෝ තොල්ස්තෝයි (1828 - 1910) හා ෆිය‍දෝර් දොස්තසව්ස්කි (1821 - 1881) වැනි නිර්මාණශිල්පීහුය.
ග්‍රීසියේ වීර කාව්‍ය (epicsකියැවූ මධ්‍යකාලීන ඉංග්‍රිසි කවියකු වූ ජෙෆ්රේ චෝසර් (1340 - 1400) ලියූ කැන්ටබරි කතාවලට නිර්මාණ ආභාසය ලැබිණ. ග්‍රීක මහා කාව්‍යවලින් හා රෝම නිර්මාණවලින් ආභාසය ලද විලියම් ශේක්ස්පියර් (1564 - 1616) වීනස් ඇන්ඩ් ඇඩෝනිස් නාට්‍යඇතුළු මැක්බත්,මෙට්පස්ට් වැනි නාට්‍ය රචනා කළේය. ඒ අභාසය මඟින් ස්වතන්ත්‍ර නිර්මාණ කුසලතාවන්හි ප්‍රත්‍යුත්පාදන ලක්ෂණ දැකගත හැකිවිය.පැරණි ග්‍රීක රෝම හා භාරතීය නිර්මාණ මඟින් ලද නිර්මාණ ආභාසය ප්‍රතිචීනනිර්මාණයන් කෙරෙහි බලපෑම අනුව මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිවීමට අඩිතාලම දැමිණ. එය මහාචාර්ය එෆ්.ආර්. ලීවිස් හඳුන්වන්නේ Great tradition යනුවෙනි.
ග්‍රීක හා භාරතීය නිර්මාණ සම්ප්‍රදායයන් පිළිබඳ මට පළමුවරට කියැවීමට ලැබුණේ ජර්මන් ජාතික මහා විද්වතකු වන මැක්ස් මියුලර් ස්වකීය ධම්මපද පරිවර්තනයට ලියූ ප්‍රස්තාව මඟිනි. ප්‍රාචීනවාදය යන්නට සරිලන වඩාත් සුදුසු යෙදුම Orientalism බව පෙන්වා දී ඇත්තේ ද මියුලර්ය.නිර්මාණ සම්ප්‍රදායක,මහා සම්ප්‍රදායයන් මුල්බැස ගන්නේ කිනම් කාරණා අනුව ද යන්න විමසා බැලිය යුත්තේ ශාස්ත්‍රඥයින් විසිනි. අප රටේ එබඳු සම්ප්‍රදායන් බිහිවීම පිළිබඳ විමර්ශන ඉදිරිපත් කර ඇති අය අතරින් මුල් තැන ලැබෙන්නේ මූලිකව පස්දෙනකුටය. ඔවුන් නම් මහාචාර්ය සෙනරත් පරණවිතානමහාචාර්ය එදිරිවීරසරච්චන්ද්‍රආචාර්ය ආනන්ද කුමාරස්වාමිමාර්ටින් වික්‍රමසිංහ සහ මුනිදාස කුමාරතුංග යන විද්වතුන්ය.
මහාචාර්ය සෙනරත් පරණවිතානසඳකඩපහණ පිළිබඳව ලියා ඇති සටහන මෙන්ම අන්‍ය බොහෝ පුරාවිද්‍යා සටහන් මඟින් ද පෙන්නුම් කරන්නට වෑයම් කරන්නේ ස්වදේශක මහා නිර්මාණ සම්ප්‍රදායක් තිබූ බවය. ඒ සම්බන්ධයෙන් පරණවිතානයෝ ඉතිහාසයසම්භාව්‍ය පාලි හා සංස්කෘත කෘති,තුලනාත්මක අධ්‍යයන මූලාශ්‍ර ගුරු කොට ගනිති.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝත් එබඳු කාර්යයක් ‘පබාවතී’ කෘතියට සපයන ලද ‘බෝසත් සර වැනුම්’ මඟින් ද සිංහල නවකතා ඉතිහාසය හා විචාරය මඟින් ද ‘ සාහිත්‍ය විද්‍යාව’ හා ‘කල්පනා ලෝකය’ මඟින් ද පෙන්වා ඇත. තවද සරච්චන්ද්‍රයෝනිර්මාණශිල්පියකු වශයෙන් ජාතක පොතේ හා ජනශ්‍රැතියේ මූලාශ්‍ර ගණනාවක් ප්‍රත්‍යුත්පාදනය කරති. ඒවා අධ්‍යයනය කිරීමෙන් ස්වදේශිකමය මහා සම්ප්‍රදාය වැටහේ.ආචාර්ය ආනන්ද කුමාරස්වාමිස්වකීය මහා පරිවර්තන කෘතිය වන ‘මධ්‍ය කාලීන සිංහල කලා ශිල්ප ඇතුළු ඉංග්‍රිසියෙන්ලියන ලද කෘති ගණනාවකින් අප ප්‍රස්තුත කාරණය මැනවින් පෙන්වාදීමට වෑයම් කරයි. මහා නිර්මාණ සම්ප්‍රදායයක් තිබූ බවත් එය කෙමෙන් වාණිජ්‍යයටම යටවී යන අයුරුත් කුමාරස්වාමි උගතකු වශයෙන් සනාථ කරයි.
මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ‘විරාගය’ නවකතාව මඟින් ස්වදේශක මහා අධ්‍යයන සම්ප්‍රදාය ගමන් කළ යුතු ඉසව්ව අපට පෙන්වා දුනි. ඒ හැරුණුකොට වික්‍රමසිංහයෝ ජාතක කතාව හා ජනශ්‍රැතිය මඟින් මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිකිරීමට ගත හැකි ආභාෂය සනිදර්ශිතව පෙන්වා ඇත. සම්මත ස්වදේශක උගතුන්ගේ අවධානය නිසි ලෙස කුමාරතුංගයන් කෙරෙහි යොමු නොවිණි. කුමාරතුංගයන් ස්වකීය ‘ප්‍රබන්ධ සංග්‍රහය’ හා ‘ප්‍රබන්ධෝපදේශය’ මඟින් ස්වදේශීය නිර්මාණ සම්ප්‍රදාය ගමන් ගත යුතු මඟ පෙන්වා දුන්හ. ඒ හැරුණු කොට කුමාරතුංග ලියූ ‘හත්පණ’, ‘මඟුල්කෑම’හා ‘හීන්සැරය’ යන රසායන කෘතීන් දැනුදු නිසි ඇගයුමට ලක්වී නොපවතී.
වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව හා වි.ඩි.ද ලැනරෝල් ගේ ‘පාසල් සමය’ යන යොවුන් කෘතීන්ට වැඩි විකල්ප නිර්මාණ මඟකින් රසායන කෘතින් නිමවී පවතී. මිනිසා හා තිරිසන් සත්වයාමිනිසා හා සොබාදහමමිනිසාගේ නුවණක්කාරකම් හා අනුවණකම්ගැඹුරු සමාජ විශ්ලේෂණයකට යොමු කිරීමට මඟ පෑදූ කෘති තුනකි ඒ. දැනුදු ඒවා ආපසු සොයා ගත යුතු නූතන ආඛ්‍යානවේදයට අන්තර්ගත කළ යුතුය. ස්වදේශක වශයෙන් මහා නිර්මාණ සම්ප්‍රදාය බිඳ වැටී පවතී. මැනවින් මුල්බැසගත් නිර්මාණ සම්ප්‍රදායක් කෙමෙන් මෙසමය වන විට බිඳ වැටී ඇත්තේ කෙසේද යන්න සමකාලීන කතිකාවකට අපූරු මැයක් විය හැකිය. ප්‍රතිචීන වාදී අනුකාරක ආඛ්‍යානයෙන් ලබන ආභාසය ප්‍රබල සාධකයක් විය හැකිය.
මා තුළ ඇති යහපත් වූ හැම දෙයකට ම මම පොත්වලට ණය ගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලයේදී ම පසක් කළෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක් ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියට ය. ගැඹුරු හැඟීම්වලින් හා ප්‍රීතිමත් උද්‍යෝගයෙන් යුතු ව මිස මට පොතක් ගැන කතා කළ නොහැකි ය.මා අතට පොතක් පත් වූ විට ජීවමාන දෙයක්,ආශ්චර්යවත් දෙයක්මා අමතා කතා කළ හැකි දෙයක් මගේ අතටමගේ ජීවිතයට ඇතුළු වූවාක් මෙන් දැනෙයි.
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-
මේ ලෝකයේ ඇත්තා වූ සෑම දෙයකට ම වඩා සංකීර්ණ වූඅද්භූත වූආදරය කිරීමට ඉතා යෝග්‍ය වූ,මේ ලෝකයේ ආශ්චර්යය හා සුන්දරත්වය විසින් පොලඹවනු ලදුව හැම දෙයක් ම තම ශ්‍රමයෙන් හා කල්පනා ශක්තියෙන් නිර්මාණය කළ මිනිසා විසින් ම මිනිසා වෙනුවෙන් මිනිසා ගැන ලියන ලද අලුත් තෙස්තමේන්තුවක් වැන්න.
මැක්සිම් ගෝර්කි -
පොත හැරීම මරණයට හේතුවෙක් නො වේ. එය හරිමු දඑයට උත්තරයක් දෙන්නට පෙරැසැලැකියැ යුතු කරුණු කිහිපයෙක් වෙයි. මිනිසා ද තිරිසනා ද අතරැ ඇති වෙනස කිමෙක් දෙ දෙන මැ අහර ගනිතිදෙ දෙන මැ කෙසේ නමුත් එය සපයා ගනිතිදෙ දෙන මැ පැන් බොතිදෙ‍ දෙන මැ නිඳති. ඉතින් කොහි ද ‍ද වෙනසතිරිසනාට නුවණ වඩන ම‍ඟෙක් නැත්තේ යැ. මිනිසාට ඒ ඇත්තේ යැ. එය ‍හළ හොත් මිනිසා ද තිරිසනෙකි. මිනිස් බව රකිනා ඒ මඟැ හැරැ තිරිසනකු වීම මැනැවි දනො වේ මැ යි. එ හෙයින් නුවණ දෙන පොත ද මිනිසා විසින් නො හළ හැක්කේ මැ යැ.
කුමාරතුංග මුනිදාස - ප්‍රබන්ධ සංග්‍රහය

අන්තර්ජාලය පළ වූ ලිපියක් ඇසුරිණි

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...