Friday, May 12, 2017

සංවර්ධන සන්නිවේදනය හැඳින්වීම හා සංවර්ධන සංකල්පය බිහිවීම.

සංවර්ධන සන්නිවේදනය හැඳින්වීම
----------------------------------------
සංවර්ධන සංකල්පය බිහිවීම
-------------------------------
සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයයි. ඒ 1950 දශකයේ අග භාගයේදීයි. 1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල්වරට භාවිත කෙරිණ. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේය.
සංවර්ධන සන්නිවේදනය යනු රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදා ගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවකි. එමගින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ‍්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකෙරිණ. ඒවායේ ප‍්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක‍්‍රමෝපා හඳුනා ගැණින. එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිකිරීමට සාධක විය. තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා - අප‍්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකිය. ( නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල් * උතුරු ඇමරිකාව - බටහිර යුරෝපය - ජපානය - ඔස්ටේ‍්‍රලියාව - නවසීලන්තය - දකුණු අප‍්‍රිකාව - ඊශ‍්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකය ලෙස හැඳින්වෙයි. දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.
සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගත හැකි පෙළඹවීම් උපායමාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිවිය. යම් රටක සමස්ත ප‍්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහලකි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංකල්පය බිහිවිය. 1980 දශකයේදී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරඹිණ. එහිදී සංවර්ධන සන්නිවේදනය ද - සංවර්ධනය සඳහා සන්නිවේදනය ද - සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද - සංවර්ධනය උපකාර කරන සන්නිවේදනය ද ආදී කරුණු එහිදී අවධානයට ගැණින. රටක ජාතික සංවර්ධන ක‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකිය. සාම්ප‍්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි.
සංවර්ධනය යන්නෙන් ආර්ථික - සමාජ - සෞඛ්‍ය - සංස්කෘතික - අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.
සංවර්ධනය සම්බන්ධ නිර්වචන
--------------------------------
මහාචාර්ය විමල් දිසානායක
____________________
ජාතික සංවර්ධනය යනු ප‍්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.
ඩඞ්ලි සියර්ස්
________________
සංවර්ධනය යනු දරිද්‍රතාව, සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම, විරැුකියාව, හා සමාජීය අසමානතාව ආදී පීඩාවලින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව මුදා ගැනීමයි.
පෝල් පී. ස්ටීවන්
__________________
සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැුකියාව හා සමාජ අසමානතාවයි.
සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ බටහිර මතවාද
-----------------------------------------------------
මහාචාර්ය විල්බර් ශ‍්‍රාම්
__________________
ජාතික අපේක්ෂා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජාතිකත්වය පිළිබඳ හැඟීම තහවුරු කිරීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇතිකිරීමට ජනමාධ්‍ය භාවිත කළ හැකි බවත් ශ‍්‍රාම්ගේ මතයෙහි දැක්වෙයි. සාම්ප‍්‍රදායික සමාජවල නව හැකියා ව්‍යප්තියට ජනමාධ්‍ය භාවිතයට ගත හැකිය. පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත‍්‍රයට සම්බන්ධ කර ගැනීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ද තිබේ.
එවර්ට් එම්. රොජර්ස්
__________________
සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාව මැනවින් තේරුම් ගැනීමටත් - නවෝත්පාදන විසරණයටත් සංවර්ධන සන්නිවේදනය භාවිත කෙරේ. ජාතික න්‍යාය පත‍්‍රය සැකසීමත් - සංවර්ධනය පිළිබඳ විවිධ ගැටලූ සාකච්ඡුාවට පසුබිම සැකසීමත් -සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර සම්බන්ධතාව වටහා ගැනීමටත් සංවර්ධන සන්නිවේදනය පිටිවහලකි.
ඩැනියල් ලර්නර්
________________
මැද පෙරදිග කලාපයට විශේෂිතව කරන ලද පර්යේෂණ අනුව මෙම මතවාදය ඉදිරිපත් කෙරිණ. නාගරීකරණය - සාක්ෂරතාව - ජනමාධ්‍ය භාවිතය - දේශපාලන සහභාගීත්වය ආදී කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මීට අමතරව අදහස් මතවාද වෙනස්කිරීමේ ක‍්‍රියාවලියට සහවේදනය බලපාන බව ද ඩැනියල් ලර්නර් පෙන්වාදෙයි.
ලූෂන් පායි
______________
පෞද්ගලික මත හා සංකල්ප සමාජීය පදනමක් තුළ ඉදිරිපත් කිරීම හා විග‍්‍රහ කිරීම ජනමාධ්‍යවලින් ඉටුවිය යුතුය. සන්නිවේදන හා දේශපාලන ක‍්‍රියාවලි අතර ඇති සම්බන්ධතා එමගින් ඔහු විග‍්‍රහ කරයි. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමෙන් පසු දේශපාලනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබාගත හැකි බව මින් පෙන්වා දී තිබේ.

                                                         -ගිගිනි-

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...