Saturday, May 20, 2017

මුදු මුහුණේ.......


ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

සැමියා -
ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?
බිරිද -
මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...

සැමියා -
ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?
බිරිද -
ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

සැමියා -
මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?
බිරිද -
මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........



මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

පද- මහින්ද දිසානායක
තනුව - ගුණදාස කපුගේ
ගායනය -කරුණාරත්න දිවුල්ගනේ
                  දීපිකා ප්‍රියදර්ශණී 
                                                                                                               -සෙල්ල්ලකාරි-



No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...