වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන ලද මතකයට නඟන්නේ විදීයේ සිටින අසරණ දරු පැටවුන්ය. එක්සත් ජතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 'ළමයා යනු අවුරුදු 18 ට අඩු සෑම අයෙක්ම වේ'. නමුත් අප වීදි දරුවන් ලෙස හඳුනා ගන්නේ 'තම දෛනික අවශ්‍යතාවන් සහ තම දිවි පෙවෙත සඳහා මාවත නිවහන කර ගත් ළමුන්ය'. අව්ව,වැස්ස, වැනි සෑම දේශගුණික තත්වයකටම ඉතා දුෂ්කර ලෙස මුහුණ දෙන මොවුන්ට හිසට සෙවණක් දීමට හෝ පෞද්ගලිකව තම කටයුතු කර ගැනීමට නිවහනක් නැත. එසේම ඔවුන් ජීවත් වන වටපිටාව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හා ආරක්ෂාව කෙරෙහි දරුණු ලෙස බලපායි.වීදි දරුවන් පිළිබඳ වග කිව යුතු ආයතන සැළකිලිමත් නොවීම තුළ මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා සමාජ ප්‍රශ්නයක් බවට පරිණාමය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පවා සිදු කෙරී ඇත. මෙම සමහර පර්යේෂණවල අරමුණ සත්‍ය වශයෙන්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වුවත් සමහර රාජ්‍ය නොවන සංවිධානවලින් සිදු කරන සමීක්ෂණවල සත්‍ය අරමුණ වනුයේ මේ ප්‍රශ්නය විදේශයන්ට පෙන්වා තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමයි. වර්තමානය වන විට කොළඹ පමණක් නොව දුරබැහැර ප්‍රදේශවල පවා මෙම ප්‍රශ්නය ව්‍යාප්ත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන් මෙම තත්වයට ගොදුරු වන බව හාමේ අතර සිටින දරුවන් බහුතරයක් වයස අවරුදු 10-16 අතර වයස් පරාසයට අයත් බවයි. මෙම තත්වය වඩාත් සංකීර්ණ හා බිහිසුණු වන්නේ මේ වයස් පරාසයට අයත් දරුවන් වඩාත් බාහිර තත්වයන්ට සංවේදී නව යොවූන් වියේ හා නව යොවුන් වියට ආසන්න වයස්වල පසුවන්නන්වීමයි. මොවුන් විවිධ අපචාර හා අපරාධයන්ට ගොදුරු විය හැකි, නතු කර ගත හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. මේ දරුවන් බොහෝ දෙනෙකු මත් පැන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම, සොරකම් කිරීම, සම ලිංගික චර්යාවන්, ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී කටයුතු සම්බන්ධ කවර හෝ අත්දැකීමක් සහිතවුවන් බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා දුෂ්කර වූ තත්ත්වයක් තුළ ඉතාම සුළු ප්‍රතිලාභයක් වෙනුවෙන් පවා බරපතල සමාජ විරෝධී ක්‍රියාවන්ට ඉත්තන් ලෙස මෙම දරුවන් යොදා ගත හැක. මත් පැන් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම, පිට් පොකැට් ගැසීම හා ඔත්තු බැලීම යනාදිය ද මේ අතර වේ. පොලීසිය පවා මෙම දරුවන් සැක නොකිරීම ජාවාරම්කරුවන්ට මනා පිටුවහලක් වී තිබේ. මෙම දරුවන් ඉතාමත් සංවේදී වන අතර ඔවුන්ට නිසි හවුහරණක් හෝ නිසි අධ්‍යාපනයක් හිමි නොවේ. සුළු මුදලකට හෝ බත් පැකට් එකකට මොවුන් ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර ගත හැක. මෙම දරුවන් සියලුම අපචාර ක්‍රියා හා අපරාධ වීදියේදී අත්දකින අතර මේ පිරිස රටේ පාතාල ලෝකය සඳහා වන යටිතලය වේ. දැඩි පීඩනයට, දුෂ්කරතාවන්ට ඔරොත්තු දෙන, සැඟවීමට හැකි උපක්‍රම ඔවුන් සොයා ගන්නේ වීදියෙන්මය. විශේෂයෙන් මොවුන්ගේ නිවහන වීදියම වීම තුළ මෙම තත්ත්වය තවත් වැඩිවේ.මෙම දරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය, මත්පැන් සමලිංගිකත්වය, හා වීදියේ සිදුවන ලිංගික කටයුතුවලට ගොදුරු වී තිබෙන අතර මොවුන් බොහෝ දුරට ළමා වියේ අත්දැකීම්වලට වඩා වැඩිහිටි වියේ අත්දැකීම් අත් විඳ තිබේ.මේ බොහෝ දරුවන්ගේ යැපීම් මාර්ගය වී ඇත්තේ සිඟමන් යැදීමය. වැඩිහිටියන් සිඟමන් යදිනවාට වඩා දරුවන් සිඟමන් යැදීම තුළ අනුකම්පාව ඔවුන් වෙත යොමු වීමේ ප්‍රවණතාව වැඩි නිසා වීදිය තුළ යාචක වෘත්තිය සඳහා දරුවා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෙම දරුවන් සිය සමාජානුයෝජන අත්දැකීම් ලබන්නේ වීදිය ආශ්‍රයෙන්ම නිසා එබඳු දරුවන් වීදියේම රැඳෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එනිසා විවිධ සමාජ විරෝධී කටයුතු සඳහා සාමාජිකයන් පුහුණු කරන පුහුණු පාසලක් බවට නගරාශ්‍රිත වීදි පත්ව තිබෙන අතර එහිදී මෙම දරුවන් සමාජ විරෝධී කටයුතු සඳහා අත්පොත තබති. ඔවුන් සමාජානුයෝජනය ලබන්නේ වීදියෙන්ම නිසා මෙම තත්ත්වය කිසිසේත්ම සමාජයට හිතකර නොවන අතර ඇතැම් විට අනාගත පාතාල කණ්ඩායමක ක්‍රියාකාරිකයෙකුගේ සුහුඹුල් අවධිය ගෙවෙන්නේ වීදි දරුවෙකු ලෙසය.
විශේෂයෙන් මෙවැනි දරුවන්ට දීර්ඝ කාලීන පුනරුත්ථාපනයක් අත්‍යවශ්‍යය වේ. එනිසා පුනරුත්ථාපන කඳවුරුවල තිබෙන අකටයුතු හා අකාර්යක්ෂමතා මග හරවා එම ආයතන ක්‍රියාකාරී සංවිධාන බවට පත් කළ යුතුය. එසේම රජය වැනි වගකිවයුතු පාර්ශව ඒකාබද්ධ වී මෙම ප්‍රශ්නයට අප්‍රමාදව විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම වඩා වැදගත් කාරණය වන්නේ සමාජයේ ආකල්පවල සිදු විය යුතු වෙනස්කම්ය.'මගේ දරුවාය' යන ආකල්පය ඉක්මවා 'අපේ දරුවාය' යනුවෙන් ආකල්පයක් සමාජීයව ගොඩ නැගිය යුතුව තිබේ. එසේම ළමුන් සම්බන්ධව කටයුතු කරන ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු අතර සමස්තයක් ලෙස මෙම දරුවන් අපේම දරුවන් නිසා අපේ වගකීම වන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එසේ නොවුවහොත් සිදු වන්නේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය අනාගතය තුළ අර්බුදයකට ලක් වීමයි.
No comments:
Post a Comment