දරුවන් පිළිබඳ සානුකම්පිත සිදුවීම් දිනෙන් දින අසන්න ලැබෙන ප්‍රවණතා වැඩි වෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මුල පුරමින් සිටියදී එයට ප්‍රවේශයක් ලැබුණේද ගාල්ල ප්‍රදේශයේ වූ එවැනි සානුකම්පිත සිදුවීමකිනි. ගාල්ල ප්‍රදේශයේ වූ ප්‍රසිද්ධ පාසලක මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි ගාල්ල වටරැක පදිංචි කුමුදිත ආලිත්‍ය සිසුවා පසුගියදා සියදිවි නසාගත්තේ සිය පියාගේම බෝරා 12 වර්ගයේ තුවක්කුවකින් වෙඩි තබාගනිමිනි. එදින රාත්‍රි 8.10ට පමණ නිවෙස පිටුපස ගසකට හේත්තු වී මෙසේ වෙඩි තබාගෙන ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන්නැයි දෙමවුපියන් එල්ල කරන පීඩනය ඉවසාගත නොහැකි බව ඔහු ලියූ ලිපියක සඳහන් කර ඇති අතර, කඩවුණු ප්‍රේම සබඳතාවක්ද ඊට හේතු වී ඇතැයිද කියැවෙයි. මෙවැනි පීඩාවක් යටතේ තමන්ට හොඳින් විභාගය සමත් වන්නට නොහැකි නිසාත්, එමඟින් දෙමවුපියන්ගේ බලාපොරොත්තු කඩ කරන්නට සිදු වී ඇති නිසාත් තමා සියදිවි නසාගන්නා බවද ඔහුගේ ලිපියෙහි සඳහන් කර ඇත. මේ දරුවාගේ පියා ව්‍යාපාරිකයකු වන අතර මව ගුරුවරියක්ද වෙයි.
දරුවන් වෙනුවෙන් අප අපේ මුළු ජීවිතයම කැප කරන්නේ ඔවුන්ට අනාගතයක් දෙන්නට වුවත් වත්මන් සමාජයේ වූ මෙවැනි භයංකර සිදුවීම් ඔස්සේ දෙමවුපියන්ට දෙවරක් හිතන්නට බොහෝ දේ ඇත්තේය; කරන්නට ඊට වඩා දේ ඇත්තේය. ඔබ නොසිතා කරන බොහෝ දේ ඔබේ දරුවාගේ අයහපතට හේතු වේ නම් ඔබේ මහන්සියෙන්, ආදරයෙන් ඇති පලය කිම්දැයි ඔබ ඔබෙන්ම විමසුවොත් ඔබ නිරුත්තර නොවන්නේද? අපි අපේ දරුවන්ට මහමෙරක් සේ ආදරය කරන්නෙමු. දරුවන්ගේ අනාගතයට අපි ඊට වඩා ආදරය කරන්නෙමු. ඒ ආදරය වෙනුවෙන් බොහෝ පරිත්‍යාගද කරන්නෙමු. ඒත් ඒ ආදරයෙන්ම තැනූ දරුවා අවසානයේ සමාජයට යන්නේ රෝගියකු වී නම් හෝ අපරාධකාරයකු වී නම් හෝ අවසානයේ අපට ඉතිරි වන දෙයක් නැත. විභාගයක් ආසන්නයටම පැමිණි පසු බොහෝ දරුවන්ට මෙන්ම දෙමවුපියන්ටද ඇත්තේ දැඩි පීඩනයකි. යම් යම් සමාජ තත්ත්වයන් මත මේ පීඩනයේ අඩු-වැඩිකම් තීරණය වන අතර, මේ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ සාමාන්‍ය මැද පන්තියේ මේ පීඩනය වැඩියෙන් බලපාන බවය.
"අම්මේ, මම සෙල්ලම් කරන්න යන්නද?" යි ඔබේ දරුවා ඔබෙන් ඇසූ විට එදා ඔබ 'එපා' යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඒ දුන්නේ ඔබේ දරුවා සෙල්ලමට ගොස් අතපය කඩාගනීවියැයි යන බියෙනි. ඒ එදාය. එහෙත් අද සිදු වන්නේ මීට වඩා වෙනස් දෙයකි. අද ඔබ දරුවා සෙල්ලම් කරන්න නොයවන්නේ දරුවා කිසියම් හානියක් කරගනීවියැයි යන බියෙන් නොව, දරුවා සිය විභාගයන් අනා ගනීවියැයි යන භය නිසාමය. මොහොතකට සිතන්න. සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයටම පැමිණ ඇත. විභාගයට සූදානම් වන ඔබේ දරුවා මේ වන විට දවස ගත කරන්නේ නිද්‍රාශීලි ගතියෙනි. නැතිනම් අලස ගතියෙනි. නැති නම් දරුවා මේ වන විට විවිධ රෝගයන්ගේ ග්‍රාහකයකුද විය හැකිය.
මනෝ ළමා රෝග පිළිබඳ බොහෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ විභාග මානසිකත්වය මෙන්ම අධික පාසල් බර හමුවේ දරුවන් විවිධ රෝගයන්ට හා මානසික ආතතීන්ට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවක් ගන්නා බවයි. පාසල් වියේදී දරුවන් මුහුණ දෙන ප්‍රධාන විභාගයන් වන ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ යන විභාගයන් මුල් කරගනිමින් දරුවන්, දෙමවුපියන් හා ගුරුවරුන් වෙතින් දරුවාට එල්ල වන්නා වූ පීඩනයේ බලපෑම මේ අතුරින් ප්‍රධාන තැනක් ගන්නා බවයි. වර්තමානයේ පාසල් අධ්‍යාපනය හා විභාග ක්‍රමය තුළ දෙමවුපියන්ට මෙන්ම ගුරුවරුන්ටද සපුරාගත යුතු ඉලක්ක බොහෝය. පන්ති මට්ටමින් හෝ පාසල් මට්ටමින් දරුවා විභාගයට සූදානම් කරන අතරම ගුරුවරුන් විසින් සිය ආදරණීය ගෝළයන් ඇපයට තබාගන්නේ සිය අභිමතාර්ථ සාධනයෙහිලාය.
ශිෂ්‍යත්වයට මුහුණ දෙන ඔබේ දරුවා හිටිහැටියේම ඔබේ වචනයෙන් 'චබී' විය හැකිය. ඔබ සතුටින් භාර ගන්නා ඒ දේ පසුපස ඇති යථාර්ථය කෙබඳුද? මේ සෑම දේම සිතීමට මෙන්ම විසදීමට තවමත් කාලය ඉතිරිව ඇත.කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය, රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසන්නේ සිසුවකුගේ ජීවිතයේ වර්ධනාත්මක අවස්ථාවක් වන පාසල් අවධියේ සිරුරට අනවශ්‍ය පෝෂණය හා ව්‍යායාම්වලින් ඉවත් වීමෙන් දරුවා අධික ස්ථුලතාවට හා බෝ නොවන වර්ගයේ රෝගවලට වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවයි. විශේෂයෙන්ම වයසට නොගැළපෙන ස්ථූලතාව, දියවැඩියාව මෙන්ම හෘදය රෝග සෑදීමේ ප්‍රවණතාව වත්මන් දරු පිරිස තුළ ප්‍රචලිතව ඇති බවයි. විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 5ත්-15ත් වයසේ පාසල් යන දරුවන් අතරින් 15%කට අධික ස්ථූලතාවෙන් හා අධික බරින් යුතු දරුවෝය. වෛද්‍ය පූජිත මහතා සඳහන් කරන ආකාරයට එසේ වන්නේ ඉන්සියුලින් සැදීමේ ප්‍රතිරෝධය වැඩි වී ඇති අතර, දියවැඩියාව සෑදීමේ මූලාරම්භය ළමා වියේදීම පෙන්නුම් කරන බවයි. විශේෂයෙන්ම 2%ක් වැනි ප්‍රතිශයකට දියවැඩියාව සෑදීමේ අවදානම පවතියි. එසේම මේ වයසේ පසු වන ළමයින්ගෙන් 5%ක ප්‍රතිශතයකට රුධිර පීඩනය වැඩි වීමේ අවදානමෙන් පෙළෙන අතර, 12%ත්-15%ත් අතර ප්‍රතිශතයකට ක්ලෙස්ටරෝල් වැඩි වීමේ ප්‍රවණතාව පවතී. එසේම 5%ක ප්‍රතිශතයකට ට්‍රයිග්ලිසරයිඩ් සෑදීමේ අනතුරු ඇඟවීම්ද කර ඇත. මේ සමීක්ෂණයට ලක් වූ කොළඹ වැනි නගරබද පාසල්වල දරුවන්ට ඇත්තේ දැඩි අනතුරුදායි තත්ත්වයක් බව වෛද්‍ය මතය වී ඇති අතර, මේ පාසල් දරුවන්ගෙන් 40%කට බෝ නොවන රෝග හා බැඳුණු ආරම්භක සංකුලතා පෙන්නුම් කර ඇත.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙහි බාහිර ක්‍රියාකාරකම්හි හිඟය හේතුවෙන් අනාගතයේ ඔස්ට්‍රියෝ පොරොසීස්වලට ගොදුරු වීමේ අවදානම පවතින බව වෛද්‍ය මතය වී ඇත. විශේෂයෙන් ඔස්ට්‍රියෝ පොරෝසිස් රෝගය තරුණ වයසේදී ඇති නොවීමට නම් පාසල් වියේදීම කැල්සියම් අඩංගු ආහාර හා ව්‍යායාම් තිබිය යුතුය. දරුවන්ට නියමිත පෝෂණය හා ව්‍යායාම් නොමැති මෙන් සිදු වන්නේ කය වෙහෙසීමකින් තොරව මනස පමණක් අසීමිතව වෙහෙසීමකි. වෛද්‍යවරුන් සොයාගෙන ඇත්තේ අවුරුදු 10ත්-15ත් අතර පිරිමි දරුවන්ගේ ව්‍යායාම් කිරීමේ ප්‍රතිශතය 16%ක් වන අතර ගැහැනු දරුවන්ගේ ක්‍රියාශීලිත්වය පෙන්වා ඇත්තේ 30%ත් 34%ත් අතර ප්‍රමාණයකි. මේ අනුව අවම මට්ටමින් හෝ දරුවන්ට ව්‍යායාම් කිරීමේ අවස්ථාව ඇහිරී ඇත. ඒත් භයානක ප්‍රතිඵලය වී ඇත්තේ මේ ව්‍යායාම් කිරීම්වලින් තොර වූ දරුවා බොහෝ සෙයින් සමාජ ජාල හා වෙබ් අඩවිවලට අවතීර්ණ වීමය.
දරුවන් පිළිබඳ පර්යේෂණය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරන්නේ විභාගයක් ආසන්නයේ දරුවන් තුළ මානසික රෝග මෙන්ම කායික රෝගවල වැඩි වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි වීමයි. මේ අවධියේ දරුවන්ගේ ස්වාභාවික චක්‍රයේ සිදු වන යම් යම් වෙනස් වීම් නිසා හා ඒකාකාරි හැසිරීම නිසා නිද්‍රාශීලි හා අලස ගති ඇති වන බවයි. මේ අවධියේ මානසික විශාදය වැඩි වන අතර, ඒ හරහා නිඳිමත ඇති වීම, පපුව ගැහීම් මෙන්ම රෝග නිදානයක් නැති රෝගද විභාගයක් ආසන්නයේ වැඩියෙන් දැකිය හැකි බවයි, විශේෂඥ මතය වී ඇත්තේ. විභාගයක් ආසන්නයේ ඇති වන මානසික ආතතීන් අතර සොමැටෆෝම් ඩිසීසස් නමැති මානසික ගැටලු අවසානයේ කායික රෝගාබාධයන්ට මුල පුරන්නකි. බඩ රිදීම්, ඇඟපත රිදීම් ආදි විවිධ රෝගාබාධ පවසමින් මේ අවධියේ දරුවන් ප්‍රතිකාර අපේක්ෂා කරන්නේ නම් දෙමවුපියන් කළ යුත්තේ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරීම නොව ඊට පසුබිම් වූ හේතුකාරණාවන්ට පිළියම් සෙවීමය. මන්ද යත්: වෛද්‍යවරුන් පවසන්නේ මේ අවධියේ ඇති වන මානසික විශාදය හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට දියවැඩියා තත්ත්වයන්ට ගොදුරු වීම, ප්‍රතිශක්තිකරණය හීන වීම මෙන්ම බැක්ටීරියා ආසාදනයන්ට ගොදුරු වීම වැඩි වන බවයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන් වැලඳෙන්නේ මේ ප්‍රතිශක්තිය හීන වීම නිසාය. දරුවන් ගෙදර පරිසරයෙන් හා බාහිර පරිසරයෙන් පීඩාවන්ට පත් වත්දී දරුවාගේ හෝමෝන ක්‍රියාකාරිත්වය පවා වෙනස් වේ. අවසානයේ විභාග මානසිකත්වයෙන් පීඩා විඳි මේ දරුවන් සියදිවි නසාගන්නේ මේ අවස්ථාවේ අවසන් ප්‍රතිඵලය වූ විශාදය හේතුවෙනි.
දරුවන් විභාග මානසිකත්වයෙන් කල් ගත කිරීමේදි අන් සියලු ක්‍රියාකාරකම්වලින් මේ දරුවන් ඉවත් වීම ශාරීරිකවද මානසිකවද බලපාන්නකි. ඔවුන්ගේ දරාගැනීමේ ශක්තිය රඳන්නේ වයස වැඩි වීමත් සමඟය. නත් මේ අවධියේ දරු ගැනීමේ ශක්තිය තිබුණද යම් යම් භයානක එහෙත් ඍජු තීරණයන්ට එළඹීමේ හැකියාව වැඩිය. විශේෂයෙන්ම සමාජ ජාලා පරිහරණය වේගවත් වීම, පවුල් පරිසරයෙන් බැහැරව මිතුරන් ඇසුරේ වැඩි විස්වාසයක් ගොඩනඟාගැනීම මෙන්ම දරුවන් මේ අවධියේ ස්වාධීන වීම වැඩි ඉඩක් සපයන්නේ තමන්ට තම ජීවිතය ගැන යහපත් හෝ අයහපත් තීරණයන් ගැනීමටය. විභාගය හේතුවෙන් සමහර දරුවන්ගේ ආහාර රටාවේ වෙනසක් දැකිය හැකි අතර ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් දරුවාගේ මානසික සමබරතාව ගිලිහී යන අතර, ඇඟපත වෙහෙසීමකින් තොරව ආහාර ගැනීමෙන් නොසිතූ ආකාරයේ ස්ථූලතාවට ගොදුරු වීමේ හැකියාව වැඩිය. දරුවන් 3 හා 4 වසරේ සිටම මේ ආකාරයෙන් වන ස්ථූල වීම් කිසිදා වෙනස් කළ නොහැකි බවයි, වෛද්‍ය මතය වී ඇත්තේ.
විභාගය ජීවිතයේ එක් කඩඉමක් පමණි. විභාගයෙන් අසමත් වීම යනු සියලු අපේක්ෂාවන් භංග වීමම නොවේ. දරුවකු විභාගයෙන් අසමත් වීමම ජීවිතයෙන් ජය ගන්නට ඔහුට හේතුවක් වනු ඇත්තේය. මන්ද යත්: අද රට දිනන්නන් ලොව දිනන්නන් සියල්ලන් විභාගයෙන් ඉහළන් සමත් වූවන් නොවන බැවිනි. මේ යථාර්ථය තේරුම් නොගත හොත් වන්නේ අවසානයේ දුක්විඳින්නටය.
(විශේෂ ස්තුතිය: තොරතුරු සපයා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය, රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතාට හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාට)
සුභාෂිණි ජයරත්න
No comments:
Post a Comment