ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 1700ක් පමණ ප්‍රමාණයක වෙරළ තීරයක් පවතින දිවයිනකි. ලෝකයේ බොහෝ රටවල් සමඟ සන්සන්දනය කරන විට ශ්‍රී ලංකාවට ඉතාමත් සුන්දර වූ පුළුල් වෙරළ තීරයක් පවතින අතර, එම වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීම වෙරළ භාවිතා කරන අප සියලු දෙනාගේම ජාතික යුතුකමකි. ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 24%ක්‌ම වෙරළ කලාපයට අයත් වන අතර, දිස්‌ත්‍රික්‌ක 14ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 74ක් පුරා වෙරළ කලාපය ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‌ෂේත්‍රයෙන් 67%ක්‌ම ව්‍යාප්ත වී ඇත්තේ වෙරළ කලාපයේ වන අතර, විශේෂයෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය ගැන සළකා බලන විට මුළු සංචාරක ව්‍යාපාරයෙන් 80%ක්‌ම ව්‍යාප්ත වී ඇත්තේ වෙරළ කලාපය තුළ වෙරළ ආශ්‍රිතවය. එමෙන්ම මුළු ජනගහනයෙන් මිලියන 4.6ක් පමණ වෙරළ කලාපය ආශ්‍රිතව ජීවත් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ නියෑලෙන ධීවර ජනතාවගේ වාසස්‌ථාන ද බොහොමයක් වෙරළ කලාපය ආශ්‍රිතව පවතී. ධීවර කර්මාන්තයේ ද මත්ස්‍ය නිෂ්පාදනයෙන් 80%ක්‌ම ලැබෙනුයේ වෙරළාශ්‍රිතව ධීවර කර්මාන්තයෙනි.
තවද, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය පාරිසරික හා ජෛව විවිධත්වය අතරින් අනූන වූ වෙරළ පාරිසරික සම්පත් වලින් සමන්විත වේ. ඒ අතර හිරිගල්පර, වැලි කඳු, කඩොලාන, කලපු හා මෝය වැනි පරිසර පද්ධතීන් සුවිශේෂ වැදගත් කමක් දරයි.
තවද, කොළඹ වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය වරාය ඇතුළු ප්‍රධානතම වානිජ වරායන් වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති අතර, මීට අමතරව ධීවර වරායන් ද, වෙරළ ආශ්‍රිතව පවතියි. මේ අනුව මෙවන් සුවිශේෂ පාරිසරිකමය, ආර්ථිකමය, සමාජීයමය වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ වෙරළ තීරය අපවිත්‍ර ද්‍රව්‍යවලින් තොරව පිරිසිදුව පවත්වා ගෙන යැම ශ්‍රී ලංකාවාසි අප සියලු දෙනාගේම යුතුකම හා වගකීම වේ.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය අපවිත්‍ර වීමට හේතු වන කරුණු කිහිපයකි.
1. ශ්‍රී ලංකාවේ වෙරළ සම්බන්ධ වන ගංගා මෝය කලපු ඇතුළු ලංකාවේ ප්‍රධානතම ජල තීරයන් 247ක් වෙරළට සම්බන්ධ වන අතර එමඟින් එකතු වන අපවිත්‍ර ද්‍රව්‍ය මෙයට එකතු වේ. විශේෂයෙන් කැලණි ගඟ, වලවේ ගඟ, කළු ගඟ, ගිංගඟ, මා ඔය වැනි ගංගා ඒ අතර ප්‍රධානතම වේ. තවද, මීගමුව, හලාවත, මඩකලපුව වැනි කලපු සහ මෝය මාර්ග මුහුදට විවෘත වේ. මෙම ගංගා හා ජල තීරයන්වල ගංගා පටන් ගන්නා ස්‌ථානවල සිට මුහුද වෙරළට විවෘතවන මෝය දක්‌වා පදිංචි ජනතාව හා පවතින කර්මාන්ත මඟින් යම් යම් දෑ ගංගා ජල තීරයන්ට මුදාහැරීම තුළින් අවසාන වශයෙන් ඒ සියල්ල ගොඩ ගසන්නේ මේ සුන්දර වෙරළ තීරයට හා ඒ ආසන්න මුහුදු ජලයටය.
2. වෙනත් ආසන්න රටවල් වලින් මුහුදට මුදා හරින අපද්‍රව්‍ය හා ඉන් කොටස් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට හා ජල තීරයට එකතු වේ. මේ තුළින් ද ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට අපද්‍රව්‍ය එකතු වීමක් දැනට සිදු වේ.
3. දේශීය හා විදේශීය සංචාරකයින් සහ ඒ ආශ්‍රිතව පවතින ඉදිකිරීම් මඟින් යම් ආකාරයෙන් වෙරළට අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වේ. නමුත් මේ ප්‍රමාණය විශේෂයෙන් සංචාරක කලාප ලෙස නම් කර ඇති ප්‍රධාන සංචාරක මධ්‍යස්‌ථාන ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසුදු කිරීමේ වැඩ සටහන් වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වරින් වර සිදුවන බැවින්, බොහොමයක් සංචාරක කලාප ආශ්‍රිත හෝටල් සංගම් මඟින් එම පිරිසිදු කිරීම් බොහෝ විට සිදු වේ.
4. නාවුක යාත්‍රා., බෝට්‌ටු මඟින් මුහුදු ජලයට එකතුවන තෙල් මඟින් වෙරළට සිදුවන බලපෑම.
5. ධීවර කර්මාන්තයේදී ඉවත් කරනු ලබන අපද්‍රව්‍යය අක්‍රමවත්ව වෙරළ ආශ්‍රිsතව හා මුහුදු ජලයට මුදා හැරීම් තුළින් ද, වෙරළ අපවිත්‍ර වීමට තවත් හේතුවකි. විශේෂයෙන් සමහර ධීවර වරායන් ආශ්‍රිතව පවතින මත්ස්‍ය විකිණීමේ මධ්‍යස්‌ථානවලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති හෙයින් ඒවා වෙරළ ආශ්‍රිත ජලයට මුදා හැරේ.
ඉහත ආකාරයෙන් සිදුවනු ලබන වෙරළ අපවිත්‍රවීම් තුළින් වෙරළ පරිසර පද්ධතියට අහිතකරව බලපායි. එනම්,
1. වෙරළේ සුන්දරත්වය විනාශ වීම.
2. වෙරළ ආශ්‍රිතව මුහුදු ජලය අපවිත්‍ර ද වීම නිසා මුහුදු ජලයේ ගුණාත්මකභාවය විනාශවීම, විවිධ ජීවීන්ට හා මත්ස්‍යයන්aගේ පැවැත්මට හානිකරවීම.
3. පොදු දේපලක් වන වෙරළට අපවිත්‍ර ද්‍රව්‍ය එකතුවීම නිසා වෙරළ හා මුහුදු ජලය අපවිත්‍රවීම තුළින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට, පොදු මහජනතාවට මුහුදු වෙරළ භාවිතා කිරීමට අපහසු වේ.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ පවතින රැකගත යුතු හිරිගල් පර පරිසර පද්ධතිය
එම නිසා වෙරළ පරිසරය අපිරිසිදු තත්ත්වයෙන් තොරව සුන්දරව පවත්වාගෙන යාමට නම් අප විසින් සිදුකළ යුතු ක්‍රියාමාර්ග කිහිපයකි.
1. මුහුදට සම්බන්ධ වන ගංගා, මෝය, කලපු ඇතුළු ජල තීරයන්ට කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් මුදා හැරීම සිදු නොකළ යුතුය. විශේෂයෙන් ගංගා , කලපු හා මෝය පටන් ගන්නා ස්‌ථානවල සිට මුහුද දක්‌වා ගංගා අවට පදිංචි ජනතාව හා කර්මාන්තකරුවන් විසින් අපද්‍රව්‍යය ද ගංගා වලට, කලපු හා මෝය වලට දැමීම සිදු නොකිරීමෙන් වෙරළ හා වෙරළාසන්න ජලයේ ගුණාත්මකභාවය භාවය ඇතිවීම තුළින් ගුණාත්මක සුන්දර වෙරළ තීරයක් පවත්වා ගැනීමට හැකි වේ. එසේ කිරීම තුළින් වෙරළට එකතු වන අපද්‍රව්‍ය පාලනය වන අතර, ඒ තුළින් වෙරළේ සුන්දරත්වය හා ගුණාත්මක තත්ත්වය ආරක්‌ෂා වේ.
2. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ හෝටල්, ලැඟුම්හල් හිමියන් හා වෙරළ ආශ්‍රිතව වාසය කරන ජනතාව කිසිදු ආකාරයකින් වෙරළට කිසිදු අපවිත්‍ර, ද්‍රව්‍යය හෝ අපර ජලය මුදා නොහළ යුතුය. එසේ කිරීම තුළින් සංචාරක ක්‌ෂේත්‍රයට මෙන්ම ජීවත් වන ජනතාවටද ඉතාමත් වාසිදායක තත්ත්වයක් ඇති වේ.
3. ධීවර ක්ෂේත්රයේ නියෑලෙන ධීවර ජනතාව කිසිදු ආකාරයකින් මත්ස්‍ය අපද්‍රව්‍ය හා ධීවර කර්මාන්තයට භාවිතා කරන ද්‍රව්‍ය මුහුදට හෝ වෙරළ ආශ්‍රිත ජලාශවලට මුදා නොහළ යුතුය. විශේෂයෙන් ධීවර කර්මාන්තයට භාවිතා කරන විවිධ දැල් වර්ග වෙරළට මුදා හැරීම තුළින් මුහුදේ වෙනත් ජීවීන් මෙන්ම මත්ස්‍යයින් විනාශ වීමට හේතු විය හැකිය.
4. ධීවර කර්මාන්තයට යොදා ගන්නා බෝට්‌ටු හා අනෙකුත් නාවික කටයුතු මඟින් මුහුදට කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් හෝ තෙල් මුදානොහළ යුතුය. එවිට වෙරළේ හා මුහුදු ජලයේ ගුණාත්මක තත්ත්වය වැඩි වේ.
වෙරළට අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය කිරීම තුළින් වෙරළ සම්පත් ආරක්‌ෂා කිරීමේ හා සංරක්‌ෂණය කිරීමේ මූලික වගකීම පැවරී ඇති ආයතනය වන වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනටමත් විවිධ වූ දැනුවත් කිරීම් හා ක්‍රියාකාරකම් මඟින් වෙරළ ආශ්‍රිත ප්‍රජාව හා අනෙකුත් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශවයන් සමඟ සිදු කරමින් පවතී. එසේ වුව ද මෙම ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම ගංගා හා කලපු ආශ්‍රිතව ජීවත්වන ජනතාව හා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රජාව ද මනා දායකත්වයක් හා වගකීමකින් යුතුව කටයුතු කිරීම තුළින් මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන කාර්යයන් තවදුරටත් කාර්යක්‌ෂමව සිදුකළ හැකි බව සඳහන් කළ යුතුය.
මේ ආකාරයට වෙරළ අපවිත්‍ර වීම වළක්‌වා ගැනීමට අප සියලු දෙනාම එකතු වී කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව වටා පවතින සුන්දර වෙරළ තීරය පොදු ජනතාවගේ විනෝදාත්මක කටයුතු සඳහා මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයට ද ඉමහත් පිටුවහලක් වන අතර, ඒ තුළින් වෙරළේ හා වෙරළ ආශ්‍රිතව පාරිසරික ගුණාත්මකභාවය වැඩි වීම තුළින් ජෛව විවිධත්වයෙන් අනූන වූ කොරල් පර, වැලි කඳු, මෝය හා කලපු වැනි පාරිසරික පද්ධතියක් මතු පරපුර සඳහා ආරක්‌ෂා කර ගැනීමට හැකි වනු ඇත.
අපද්‍රව්‍යවලින් තොර වෙරළ තීරයේ සුන්දරත්වය
තවද, 2015 සැප්තැම්බර් 15 සිට 22 දින දක්‌වා දිවයින පුරා වෙරළ තීරය පිරිසිදු කිරීම තුළින් වෙරළ පරිසරය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් පවත්වා ගැනීමට අපි සියලු දෙනාම දැනුවත් විය යුතු අතර, ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය අත්‍යවශ්‍ය වන බව සඳහන් කළ යුතුය.