"සෑම මානව සමාජයකටම ආගමක් තිබේ, මොන තරම් ප්‍රාථමික වුවත් ආගමික හෝ අභිචාර විධියක් නැති ජනතාවක් නොමැත. විද්‍යාත්මක ආකල්පයක්, විද්‍යාවක් නැති ජනතාවක් ද නැත. හැම ප්‍රාථමික ජනතාවක් ම ශුද්ධ හා ලෞකික යන ක්‌ෂේත්‍ර දෙක වෙන් කර ගනිති. වෙන විධියකින් විස්‌තර කරන්නේ නම් මේ දෙක ආගම හා අභිචාර විධි බලපාන ක්‌ෂේත්‍රය හා විද්‍යාව බලපාන ක්‌ෂේත්‍රයයි. දේශීය ජනයා විසින් ශුද්ධ සේ සලකනු ලබන පාරම්පරික සංස්‌කාර හා පිළිවෙත් පිපිරීම් එක් පැත්තක වෙයි. අනික් පැත්තෙහි ස්‌වභාව ධර්මයෙහි ක්‍රියාදාමය දෙස පරීක්‌ෂාකාරී ලෙස කරනු ලබන නිරීක්‌ෂණ හා එහි අනුක්‍රමිකතාව පිළිබඳව ඇති තිරසාර විශ්වාසයෝ වෙති" (බ්‍රොනිස්‌ලාව් මලිනොව්ස්‌කි) (බෞද්ධ ශිෂ්ටාචාරය ( මූලධර්ම සහ වංශකථාව, මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර, ආචාර්ය එච්.එම්. මොරටුවගම, 1990, ගොඩගේ)
ලෝකයේ ආදිම ශිෂ්ටාචාරය වශයෙන් ගැනෙන සූමේරියන් ශිෂ්ටාචාරය ටයිග්‍රීස් සහ යුප්‍රටීස් යන ගංගා දෙකට මැදි වූ නිම්න භූමියේ පහළ දක්‌ෂිණ අර්ධයෙහි පහළ වූ බවත්, මේ කාල පරිච්ඡේදය ක්‍රිස්‌තු පූර්ව 3000 ටත් 4500 ටත් අතර කාලය ලෙසත්, එය අදින් වසර 5500 ට ක පමණ පූර්ව යුගයකට අප කැඳවන බවත්, පුරා හා මානව විද්‍යාඥයින් ගේ අධ්‍යයන වාර්තා තහවුරු කරයි. නයිල් මිටියාවතේ ඇති වූ මිසර ශිෂ්ටාචාරය ද ක්‍රිස්‌තු පූර්ව 2000 ටත් 4000 ටත් අතර කාලයකට උරුමකම් දක්‌වන බවද ඔවුන් හෙළි කර ඇති බව සඳහන් කළ යුතු අතර මේ වාසභූමීන්ට මැදිවූ යුදෙව් ජනයා ගේ ශිෂ්ටාචාරය මේ සමානම කාල නිර්ණයකට සබඳකම් දක්‌වන බව අනාවරණය වී ඇත. තවද, මෙයට පසු කාලීනව එන අරාබි, බැබිලෝනියානු ග්‍රීක හා පර්සියානු සංස්‌කෘතියේ බලපෑම පෙරදිගට ගලා ගිය බවත්, ඉතිහාස සටහන් මනාව ප්‍රකට කරයි. මාතෘකා ගත කරුණට අනුව සෘජුවම බලපාන්නා වූ හින්දු ආගම ඉන්දු නිම්න හෙවත් මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ සිට පැවත එන ඇදහිලි හා විශ්වාස ද කේන්ද්‍ර කරගෙන මෙම ලිපිය ඉදිරියට විකාශය කරමි.
ඕනෑම රටක ඉතිහාසය වනාහි ඒ රටෙහි සමාජ ආර්ථික දේශපාලනික ජීවිතය හෙවත් එහි ජීවත්වන ජනයා ගේ සංස්‌කෘතිය වෙනස් වීමට හේතු වූ සමස්‌ථ කාරණාවන් වන්නේය. මාතෘකාගත කරුණ පිළිබඳ විමසීමේ දී විවිධ ශිෂ්ටාචාර අවධීන් සැකෙවින් විමසන්නට හේතු වූයේ මානව සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් හා ඔවුන් ගේ ඇදහිලි හා විශ්වාසාදිය පිළිබඳ සිය අත්දැකීම් පෙරට ඒමේ ස්‌වභාවය මද විමසුමකට ලක් කිරීමේ අදහසින් බව කිවයුතුය.
භාරතීය හින්දු සංස්‌කෘතිය නිතැතින්ම අප එහි වේද යුගය කරා රැගෙන යන්නකි. ආර්ය සහ අනාර්ය වශයෙන් ඉන්දීය ජන ව්‍යාප්තිය විමසුවහොත් වේද සාහිත්‍යය තුළින් ප්‍රකට වන්නේ අනාර්ය ගෝත්‍රිකයන් ගෙන් වැද්දගත් විවිධ සංස්‌කෘතික ලක්‌ෂණ ගුප්ත දේවත්වයකින් ආවරණය කර ගෙන ඇති බවය. මෙම අනාර්ය ගෝත්‍ර විමසීමේ දී මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයාට විරුද්ධව නැගී සිටි රණකාමී ගෝත්‍රයක් වූ මාලව වැනි යුදකාමී ගෝත්‍ර ඇතු`ඵව තක්‌ක, අභිරාජ, සාවරි, පහාඩි, විරාව, කුරු ආදී ගෝත්‍ර රාශියක් පිළිබඳ තතු ඉතිහාස සටහන් හුවා දක්‌වයි. පංචාල ගෝත්‍රය පිළිබඳ ශතපථ බ්‍රාහ්මණයේ එන්නේ සෘග් වේද යුගයේ ත්‍රිවි ගෝත්‍රය මුල් කොට ගෙන එය ඇති වූ බවය. කුරු පංචාල ගෝත්‍ර සෘග් වෛදික යුගයේ පාලනයේ වැදගත් වූ බව සඳහන් වේ. ඔවුන් විජයග්‍රාහී කටයුතුවල යෙදුණ බවත් මේ රජුන් අශ්වමේධ යාගය පැවැත්වූ බවත් බ්‍රාහ්මණ ග්‍රන්ථ සඳහන් කරයි. ක්‍රි. ව. 320 380 කාලය ගුප්ත යුගයේ හා පශ්චාත් ගුප්ත යුගයේ ලියෑවුණ බවට විශ්වාසිත දශකුමාර චරිත, හර්ෂ චරිත හා කාදම්බරි ආදි කෘතීන්හි ද ස්‌වදේශික ජනයා ඉන්දු ආර්යයන් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කළ බව සඳහන්වන අතර පුලින්ද, සබර, කිරාත, මුතිබ වැනි ගෝත්‍රික ජන පිරිස් වින්ධ්‍යා අඩවිය නිජබිම් කරගෙන සිටි බවත් වනගත කඳුකරය තුළ ජීවත්වූ ඔවුන් සිය භක්‌තිවන්ත දෙවිවරුන් උදෙසා මිනී මස් පිදූ බවත් 'කාදම්බරි'ග්‍රන්ථ කර්තෘ සඳහන් කරයි.
දේව යනු බැබළීම ලෙස ගැනෙන අතර තේජසින් යුක්‌ත වීම වශයෙන් ද, පාලියෙහි දේව ශබ්දය 'දිවි' ධාතුවෙන් උපන් අතර දේවා යනු බැබළීම නැතහොත් ප්‍රීතියෙන් යුක්‌තවීම වශයෙන් විග්‍රහ කෙරෙයි. භාරතීය ඇදහිලි හා විශ්වාස ගැන කරුණු දක්‌වන මහාචාර්ය බෂාම් පවසන්නේ ආදිම කාලයේ ජනයා වාසුදේව නමින් දෙවිකෙනකු බටහිර ඉන්දියාවෙහි විශේෂයෙන් වන්දනා කළ බවත්, බෙස්‌නගර් කු`ඵණු ලිපිය අනුව ක්‍රිස්‌තු පූර්ව 2 වැනි ශත වර්ෂය වන විට රටේ පාලක පන්තිය පවා මෙම දෙවියන්ට ගරු බුහුමන් කළ බවත්ය. මේ සමග බටහිරින් පැමිණි ආක්‍රමණිකයින් ද මෙම දෙවියන් පිළිගත් බවත් විෂ්ණු නම් වෛදික දෙවියනුත් වාසුදේවත් එකම දේවත්වයක ලා සැලකීමට හුරු පුරුදු වූ බවත් වැඩිදුරටත් පෙන්වා දෙන අතර දෙවිවරු සංයෝග කිරීම මානව සමාජය වෙනස් වීමත් සමග සිදුව ඇති ආකාරය මනාව ප්‍රකට කරයි. නිදසුනක් ලෙස භාරතීයයන් අතර මුඛ පරම්පරාගත සංග්‍රාමික දෙවියකු වූ කෘෂ්ණ දෙවියන්, අවසානයේ විෂ්ණු දෙවියන් හා සමීප වූ බව ද පවසයි (බෂාම්) (අවලෝකිතේස්‌වර සහ නාථ දේව සංකල්පය ද ඊට නිදසුනකි).
බිලි පූජාව වැනි සංකල්ප ආදි අනාර්ය ජනයා තුළින් සමාජගතව ප්‍රකට වූ බවත් මෙම අභිචාරවිධි භාරතීය දේශ සීමාවෙන් ඔබ්බට ගිය ආකාරයත් විමසීමට කලින් බිහිවී වැඩී ගිය දේශයේ තතු විමසා බැලිය යුතු වෙයි. ක්‍රි. පූ. 1500 ට ආසන්නයේ ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නේ ගෝත්‍රික කණ්‌ඩායම් වශයෙනි. ඉන් භරත ගෝත්‍රය මුල්කර ගෙන භාරතය යන නාමය පටබැඳුණ බවත් ආර්යයන් ගේ ස්‌ථාවර සමාජ රටාව පිළිබඳ ඇගයීමකුත් ඒ සමග ඉතිහාසගතව ඇති බව සඳහන් කළ යුතුය. ආර්යයන් තම සෑම කටයුත්තක්‌ම උසස් ආකාරයකටත් අනෙකුත් ජනයා පහත් ලෙස සැලකීමටත් පුරුදු විය. මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ය සමාජය තුළ වර්ණ බේදය මගින් බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර වශයෙන් වර්ගීකරණයට ලක්‌විය. සර්ව බලධාරී වූ සියල්ලටම අධිපති වූ මහා බ්‍රහ්මයා ගේ නියෝජිතයන් ලෙස භාරතීය සමාජයේ උසස්‌ම ස්‌ථානය හිමි වූයේ බමුණන්ටය. සෘග්, යජුර්, සාමන්, අථර්ව යන වේදයන් ගේ සමස්‌ත දැනුමින් සන්නද්ධව සිටි ඔවුන් වේදය ගුරු කොට ගෙන සමස්‌ත සමාජය මෙහෙයවන ලදී. ඒ අනුව උසස් හිමිකම් තමුන් වෙත පවරා ගත් අතර යාග පැවැත්වීමේ බලය ද ඒ අතර වැදගත් ලෙස සැලකූහ. මනුස්‌මෘතියට අනුව වේදය ඉගෙනීම උතුම් ආගමික ඉගෙනීම බව සමාජගතව පැවැතුණි.
පැරණි භාරතීය සමාජයේ සෙසු කුලයන් වූ ක්‌ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර ජනයා ට බ්‍රාහ්මණයින් අඩු අයිතිවාසිකම් ලබා දුන් අතර අනුශාසකත්වය හා සංවිධානය මෙහෙයවීම ඇතිව යාග හෝම සමාජ ගත කළ ඔවුන් අශ්වමේධ යාගය, පුරුෂ මේධ යාගය, වාජ පේය හා නිරක්‌ගල ආදී වශයෙන් නාමකරණයෙන් යාගයන් අරුත් ගන්වා ශාන්ති කර්ම විශේෂයක් ලෙස දෙවියන් උදෙසා පවත්වන ලදී. මෙම යාගයන් හි දී සිය දහස් ගණන් තිරිසන් සතුන් ද මිනිසුන් ද මරා බිලි දුන් හ. චතුර් වර්ණ ගත මෙම සමාජයෙහි එකිනෙකාට සමාජයෙහි උසස් , පහත් සහ පහත්ම (පංචම ජනයාට) වශයෙන් විවිධ ස්‌ථාන පැවතුණි. ඒ අනුව සැමට සමාන වරප්‍රසාද, හිමිකම් අයිතීන් හා යුතුකම් සමාජගත ව නොපැවති බව මනාව පැහැදිළි වෙයි.
උසස්‌ම ආකාරයෙනුත් චිත්ත පාරිශුද්ධියෙනුත් යුතුව වත් පිළිවෙත් පවත්වන හින්දූන් ගේ ආගම කාලයත් සමග දර්ශනය සමග වැඩී ගොස් බ්‍රහ්ම විෂ්ණු, ශිව යන දේව ත්‍රිත්වය මත පදනම්ව විකාශනය විය. මේ ඔස්‌සේ සමාජගතවූ ක්‍රියාකාරකම් ජන සංස්‌කෘතිය හා බද්ධවී ඇතැම් කරුණු තුරන්වී නව ක්‍රම බද්ධ වී පැවත එන්නේ මස් සිඳ ඇට මිදුළු දක්‌වා දිව ගොස් සැඟව ඇති මූලික විශේෂයන් සමග බව ඇතැම් සංසිද්ධි අනුව පැහැදිලි වෙයි. පොළොවේ සිටින දෙවියන් බමුණන් බව පැවැසූ ඔවුන් 'භූ සූර' නාමයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්විය. භාරතීය යුග විකාශයත් සමග ගුප්ත යුගය වන විට බ්‍රාහ්මණ ආගම හින්දු ආගම බවට පරිවර්තනය විය. හින්දු කෝවිලක ආදිම ස්‌වරූපය පිළිමයක් හෝ පූජාර්හ වස්‌තුවක් සහිත මඩුවක් වූ බව පවසන මහාචාර්ය බෂාම්, ගුප්ත යුගය වන විට දියුණු තත්ත්වයකින් පැවතුණ බව සඳහන් කරන අතර හින්දු පිළිවෙත් ගැන හෙතෙම මෙසේ පවසයි(
"හෝමය (යාගය) වෛදිකාගමේ ප්‍රධාන වතාවත වූ නමුත් හින්දු ආගමේ ප්‍රධාන වතාවත වූයේ පූජාවයි, දෙවියකුට සාමාන්‍යයෙන් වන්දනා කරනු ලබන්නේ විශේෂ වතාවත්වලින් පරිශුද්ධ වස්‌තුවක් බවට පත් කරනු ලැබූ ප්‍රතිමාවක ස්‌වරූපයෙනි. ප්‍රතිමාව ශුද්ධ වස්‌තුවක් වූ පසු දෙවියා කිසියම් ආකාරයකින් එහි වාසයට යන බව විශ්වාස වී ය. ප්‍රතිමාවට පසඟ පිහිටුවා වඳින භක්‌තිමතා බොහෝවිට නොයෙක් වර ඉල්ලන නමුත්, පූජාව යාච්ඤාවක් නොව ගරු බුහුමන් හා සැලකිලි දැක්‌වීමකි. සම්භාවනීය අමුත්තකුට මෙන්ම දෙවියන්ට ද පා සේදීමට පැන් වඩවා, මල් බුලත් ආදිය පුදනු ලැබේ. ගැයුම්, වැයුම් සහිතව ඝණ්‌ටා නාද කොට, සක් පිඹ අලුයම දෙවියන් උත්සවාකාරයෙන් අවදි කරනු ලැබේ. ඉක්‌බිතිව උන්වහන්සේ දෝවනය කොට දිය පිස දමා, ස`ඵ වඩනු ලැබේ. ඊට පසු මල් මාලා, සුවඳ දුම් හා පැද්දෙන පහන් ආදියෙන් පුදා ගරු බුහුමන් දැක්‌වේ. ඊට පසු සාමාන්‍යයෙන් බත් හා පලතුරු සහිත භෝජනයකින් මේ වඩනු ලැබේ. ඒ ආහාරයේ රසය උරා ගත් දෙවියා තමන් වඳින්නන්ට හා දිළින්දන්ට දෙනු සඳහා එහි ද්‍රව්‍යමය කොටස ඉතිරි කරයි. බොහෝ දේවාලවල දී රාත්‍රියට ඔහු තම බිසව හෝ බිසොවුන් වසන සයනාගාරයට වැඩම කරවනු ලැබේ. විශාල කෝවිල් සිද්ධස්‌ථානවල දී පරිවාර ජනයා ඔහුට පවන් සලති. නාටිකාංගනාවෝ විනෝදය සපයති. මේ අතින් දෙවියකුට සැලකූයේ ඉන්දීය නරපතියකුට සැලකුව ආකාරයටය. උත්සව වලදී දෙවියා ද රථයක නැගී නගර සංචාරයෙහි යෙදෙයි. මේ රථය බොහෝවිට භක්‌තිමතුන් විසින් අදිනු ලැබේ. පෙරහැරේ පසු භාගයෙහි සිය රථවලට නැගී ගත් වෙන දෙවිවරු ද, ගැයුම් වැයුම් කරුවෝ ද, චාමර ඡත්‍ර හා විජිනි පත් දැරුවෝ ද, නැට්‌ටුවෝ ද ගමන් කරති. (අසිරිමත් ඉන්දියාව, බෂාම් )
හින්දු ත්‍රි මූර්තියෙහි ඇතුළත්, නිල් පැහැති දෙවියකු වශයෙන් ප්‍රකට විෂ්ණු දෙවියන් හක්‌ගෙඩිය, ජයකොන්තය, චක්‍රායුධය, නෝඵම්මල යන වස්‌තු සතර අතින් දරා කෞස්‌තුභ පාෂාණය ගෙල පැළඳ ගරුඬ වාහනය ද සහිතව සිය පතිනිය වශයෙන් ලක්‌ෂ්මී හෙවත් ශ්‍රියා කාන්තාව කැටුව වෙසෙන අතර භාරතයෙන් ලක්‌දිව වැඩම කරන්නේ සියලු සතුන් යහ මගට ගැනීමට බව විශ්වාසිතය. ඔහු විවිධාකාරයෙන් පෙනීසිටීම හෙවත් දස අවතාර වශයෙන්ද මත්ස්‍ය, කුර්ම, වරාහ, නරසිංහ, වාමන, පරශු රාම, කෘෂ්ණ, කල්කින් මෙන්ම බුදුන් වහන්සේට ද ඔවුන් එවැනි අරුතක් සම්පාදනය කරති. සසුන රක්‌නා ලෙසින් මෙරට වඩින මෙම දෙවියන් බෞද්ධ විහාරය තුළ ලැගුම් ගැනීමට අවසරය ඉන් නිතැතින්ම ලබා ගත්තද, ත්‍රි මූර්තියෙහි ශිව ට ලැබී ඇත්තේ වෙනත් විධියේ අවසරයකි. එහෙත් මෙරට බෞද්ධයින් ගේ ද, ගෞරවයට පාත්‍රවී ඇති ශිව දෙවියන් ද ලක්‌දිව දේවාලයන්හි විරාජමාන වන්නේ භාරතීය සංස්‌කෘතිය විවිධ ආකාරයෙන් විසරණයවීමේ හේතුව නිසාය.
ප්‍රචණ්‌ඩත්වයෙන් ඈත්ව මිනිසා ශිෂ්ටාචාරගත වීමත් සමග දෙවියන්ද ශිෂ්ට සම්පන්න වූ බව සෑම ආගමක්‌ම සාක්‌ෂි සපයති. අශෝක අධිරාජයා සිය 1 වැනි සෙල් ලිපියෙන් මිනිසුන්ටත් සතුන්ටත් එකසේ දයාව, මෛත්‍රිය දැක්‌විය යුතු බව පවසන්නේ එකම පණ ඇති සතකු වත් නොමැරිය යුතු යෑයි ද, බිලි නොදිය යුතු යෑයි ද නියම කිරීමෙනි. එසේම සිය 5 වැනි ටැම් ලිපියෙන් අධිරාජ්‍යය පුරාම සියලු සතුන්ට අභය දානය දිය යුතු බවත්, රජවාසල බොජුන් සඳහා සත්ව ඝාතනය වහාම තහනම් කළ බවත්, සතුන් කර ඇඹීම හා හංවඩු ගැසීම ද තහනම් කර ලේඛන ගත කර තිබිණි. ඔහුගේ 7 වැනි ටැම් ලිපියෙන් පණ ඇති සතුන් සිටින ලෙලි පවා දැවිය යුතු නොවේය. යනුවෙනුත් ඔවුනට වධ හිංසා කිරීමට කැලෑ ගිනි නොතැබිය යුතු බව ද ගවයින්ට හා මිනිසුන්ට සෙවණ සැපයීමට මංමාවත්වල ගස් සිටුවන ලෙසත් අණ කොට තිබුණ බව සඳහන් වෙයි.
වෛදික යුගයෙන් පසුව එන ගුප්ත යුගයේ භාරතීය සමාජය තුළ මානව හා සත්ව රූ සම්බන්ධකර තම දෙවියන් නිර්මාණය කර ගත් අතර තත් යුගය හමාර වෙත්දී දේවතාවියන් ද වන්දනයට පාත්‍ර වන්නට වූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නැගෙනහිර මලාවාහි වරාහ (සූකර) දේවතාවකුත් එඩේර ජනයා අතර එඩේර ලක්‌ෂණ ගත් දේවතාවකුත් පසුකාලයේ විෂ්ණු දෙවියන්ට සමීපවන කෘෂ්ණ දෙවියන්ට සංයෝගවන ආකාරයත් ඉතිහාසය විමසීමෙන් ප්‍රත්‍යක්‌ෂ වෙයි.
එමෙන්ම සශ්‍රීකත්වය පිළිබඳව එන දේවත්වයක් හරප්පා සංස්‌කෘතියේ පටන් සමාජගතව පැවැති අතර වෛදික යුගයේ මෙම දෙවියා ශිව වශයෙනුත් මුලින් රුද්‍ර හා බැඳෙන මෙම දෙවියන් කඳ කුමරු මෙන්ම ඇත් හිසක් හා බැඳෙන ගණ දෙවියන්ද ශිව දෙවියන් හා සබැඳෙන ආකාරය අනුව මෙම ස්‌වභාවය අවබෝධ කරවනු ඇත. ගුප්ත යුගයේ අවසානයේ දේවතාවියෝ වැදගත් තැනක් උසුලන්නට වූ බවත් එසේම යන්ත්‍ර, මන්ත්‍ර ඇදහීම හා ආගම නමින් ලිංගික කටයුතුවල යෙදීම ද අමුතු ස්‌වරූපයේ සත්ව බිලි පූජා විධි ද මධ්‍යකාලීන ඉන්දීය සමාජය තුළ වැදගත් කමකින් යුතුව ඉදිරියට සපැමිණි බව මහාචාර්ය බෂාම් පෙන්වා දෙයි.
මේ අතර දකුණු ඉන්දීය ද්‍රවිඩ සමාජය වෙත බලපාන ආර්ය සමාජයේ පුරුෂාර්ථ විසින් ඔවුන් තුළ ප්‍රබල ශ්‍රද්ධාවක් ජනිත කරන්නට හේතු විනැයි පවසන විද්වත්හු එම ඇදහිලි හා බලපෑම් විසින් විවිධ ඊශ්වර වාද පහළ කළ බවත් නිරීක්‌ෂණය කරති. මධ්‍ය යුගයේ භාරතීය සමාජය තුළ පහළ වූ සංචාරක ධර්ම දේශකයින් හා දේව ස්‌ත්‍රොaත්‍ර ගායනා කරන්නන් හේතු කොට ගෙන භාරතීය සමාජය තුළ ප්‍රකට වූ භක්‌තිවාදී හින්දු ආගම වත්මන් හින්දු ආගමේ උපතට හේතු වන්නට ඇතැයි බෂාම් වැඩිදුරටත් සඳහන් කරයි.
කුමන ජන සමූහයක් අතර වුවද, වත් පිළිවෙත් ආරම්භ වී වෙනස් වෙමින් ඉදිරියට පැමිණීමට හේතු වී ඇත්තේ අවශ්‍යතාවය ප්‍රමුඛ වීම මත බව පෙනේ, වෛදික යුගයේත්, ප්‍රාග් බෞද්ධ යුගයේත් බ්‍රහ්මවාදය ජනප්‍රියව පැවතුණි. ජන්මයෙන් හා අභ්‍යාස කිරීමෙන් තමුන්ට සෘද්ධි බලය ඇතැයි කී බමුණන් කවර නර පතියකුටත් වඩා ප්‍රබල යෑයි පවසමින්, ඔවුහු යාග හෝම සිදු කොට තම බලය තහවුරු කරගත්හ. යාග පූජා පැවැත්වීමේ ඥන ශක්‌තිය බ්‍රහ්ම ගෙන් ලැබුණ විශේෂ වරප්‍රසාදයක් බව තහවුරුව පැවතුණි. යාග හෝම මගින් තමාට එරෙහි වන්නන් විනාශ කිරීමේ බලය ද ඔවුන් තුළ ඇතැයි යන අදහස තත්කාලීන සමාජය තුළ මැනවින් සමාජගතව පැවතීම යාග හෝම උත්සන්නව පැතිරයාමට තවත් හේතුවක් විය.
ප්‍රාථමික මිනිසා ගස් ගල් අඳුරු වනාන්තර ඇදහැලෙන දිය දහරා සුළඟ අකුණු වැනි සොබා දහමේ විවිධ තත්ත්වයන් කිසියම් භූත බලවේගයක් ලෙස ඇදහූ බව පුරා හා මානව විද්‍යාඥයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ගේ ද විමසීම් තුළින් ලොවට හෙළි කර ඇත. වත් පිළිවෙත් පිළිබඳ අතීත මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන පුරාවිද්‍යාඥයින් හෙළි කර ඇති, විවිධ වර්ණ භාවිත මෙවලම් මෙන්ම වර්ණ ගැන්වූ මානව හා සත්ත්ව අවශේෂ ගැන සඳහන් වන අපූර්ව තොරතුරු ඊට ප්‍රබල සාක්‌ෂි වෙති.
සමාජගත විවිධ අභිචාරවිධි සමග බැඳී ඇති මානව ක්‍රියාකාරකම්හි ද මෙන්ම වාස්‌තු විද්‍යාවේදීත් චිත්‍ර කලාවේදීත් ඇගයීමට ලක්‌වන වර්ණ භාවිතය, බලි සහ බිලි පූජා වන්හි දී ද සැලකිල්ලට ගනී. (විෂ්ණු පුරාණයට අනුව) වෛදික දෙවියකු වූ කෘෂ්ණ නිරූපණය වන්නේ කාල වර්ණ හෙවත් ක`ඵ පැහැ අනාර්ය දෙවියකු ලෙසය. අඳුරත් නරකයත් ක`ඵ වර්ණයට භාර කරන අතර අනතුරු, නරක, උෂ්ණ, ආදී වශයෙන් විග්‍රහ කෙරෙන රතු සහ පවිත්‍රත්වයේ සංකේතය වශයෙන් සලකන සුදු පැහැය ද විශේෂත්වයක් ගන්නා අතර යකුන් යක්‌ෂණියන් අමනුෂ්‍යයන් උදෙසා කෙරෙන ශාන්තිකර්මවලදී පංච වර්ණ ද ඒ සමග භාවිත වෙයි. ශාන්තිකර්මවලදී යකැදුරන්, බලි ඇදුරන් මෙන්ම කපුරාල ද සුදු පිරුවට භාවිත කරයි. ග්‍රහ අපල උදෙසා නවග්‍රහ මණ්‌ඩලයටම පුද පූජා පවත්වන අතර දෙවියන් යකුන් ප්‍රේතයින් මෙන්ම ඒ උදෙසා පවත්වන තොවිල් පවිල් වලදී නියමිත වර්ණ භාවිත කරමින් යකුන් ගේ රූ තැනීම සමාජගත පැරණි සම්ප්‍රදායකි. බලි යාගයන් හි දී පමණක් රූප ඇඹීම සිදු කරනු ලබයි.
පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ ලක්‌දිව විසූ ජනයා ගැන කරුණු දක්‌වන විද්වත්හු එකල ලක්‌දිව ද ජගන්මාතා පිදීම වැනි තම අස්‌වනු වැඩි කර ගැනීම සඳහා පිදූ දුරාචාර පුද පූජා සහිත ආගමක් පවතින්නට ඇතැයි විශ්වාස කරන අතර හියුංත්සාන් ගේ වාර්තාවක් උපුටා දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ද පෙන්වා දෙන්නේ සිංහල රාජධානිය දුරාචාර පිදූ ආගමක පූර්වයේ ඇලී සිටියේය යන පුවත, මහාවංශයෙහි එන එකල ජනයා තම මියගිය ඥතීන් දේවත්වයට හා යක්‌ෂ ආත්මයන්ට පත්වන බවට පැවති විශ්වාසයන් අනුව පිළිගත හැකි බවය. බ්‍රාහ්මණ හා හින්දු ඇදහිලි හා විශ්වාස පිළිබඳ ලංකා ඉතිහාසය විමසීමේදී මහායාන බුදු සමයේ බලපෑම (ක්‍රි. ව. 5-10) ඊට ලබා දෙන අනුබලය අමතක කළ නොහැක. බෝධිසත්ත්ව හා දේව සංකල්ප තත්යුගයේ, මෙරට පැමිණිය ද ස්‌වරූපයන් හා ආචාර විධිවල මෙන්ම පැවතුම්වල වෙනසක් සමග ථෙරවාදය හා සම්මිශ්‍රව ඉදිරියට පැමිණ විසංවාදයකින් තොරව ක්‍රමයෙන් මහායාන බලය පිරිහී ගිය බව ද පැහැදිලි කරුණකි. එහෙත් බුදුසමය පිටු දකින බටහිර ලෝකය තුළ අන්‍ය ආගමකට හෝ වෙනස් ඇදහීමකට ඉඩක් නොතිබුණි, එහි සිදු වන්නේ මීට වෙනස් තත්ත්වයකි.
බටහිර ලෝකයේ කිතු දහම පැතිර යාමට ක්‍රි. ව. 312 දී පමණ කොන්ස්‌තන්තීනු කිතු දහම වැළඳ ගැනීම රුකුලක් වී ඇතැයි පවසන ඒ.එල්. නිට්‌සූඡ් සඳහන් කරන්නේ යුරෝපයේ සහ මැද පෙරදිග කලාපය තුළ අන්‍යාගම් වැළඳගත් පොදු ජනයාට අනුකම්පා විරහිත සටන් මෙහෙයුවා පමණක් නොව සිතිවිලි පාලනය කිරීමට ද කටයුතු කළ බවයි. තියොඩීසියස් ගේ නීති ග්‍රන්ථයක් උපුටා දක්‌වන හෙතෙම එහි ව්‍යවස්‌ථාවක සඳහනක් තුළින් තත් යුගයේ කිතු දහම හැර අන්‍ය ඇදහීම් සමාජයෙන් තුරන් කරන්නට ගත් පියවරෙහි තරම පිළිබඳ සිතාගත හැකිය. "හැම නගර ග්‍රාම ආදී ස්‌ථානවල පිහිටි දේවස්‌ථාන වසා දමා ඒවාට ඇතු`ඵවීමට අවසර ඉල්ලු කල්හි සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව අපේ කැමැත්තයි. බිලි පූජා ආදිය පැවැත්වීමෙන් සියලු දෙනාම වැළකී සිටිය යුතු බව ද අපේ මතය වේ. යම් කිසි කෙනෙක් මෙබඳු දෙයක් කළොත් ඔහු ගේ ගෙල කඩු පහරින් සිඳනු ලැබේවා"
"බිලි පූජා පවත්වන හෝ පිළිම වඳින කවරකු නමුත් මරණීය දඬුවමට පත් කළ යුතු බවට අපි අණ දෙමු" (තියොඩීසියස් ගේ නීති ග්‍රන්ථයේ සඳහන්, 356 හි අංක 6 දරන ආඥවයි)
එහෙත් බුදුසමය විසින් හික්‌මවු ජාතියක නරපතියන් මෙන්ම පොදු ජනකාය ද අන්‍ය ආගම් හා සංස්‌කෘතීන් දෙස විපරම් කළේ ඊට වෙනස් ආකාරයෙනි. පොළොන්නරු ශිව දේවාලය අසල වූ නිශ්ශංකමල්ල රජතුමා සිය ග්‍රහ අපල දුරු කර ගැනීමට හිඳ ගත් ස්‌ථානය බවට විශ්වාසිත තැන පවතින ලිපිය එකල බලි යාග පැවති බවට සාක්‌ෂියක් මෙන්ම මෙරට උඩරට පහත රට දෙරටේම සංගීතයටත් නැටුමටත් දෙකටම බලි යාගය බලපාන ලද බව ප්‍රකට සංගීතඥයෙකු වූ සී. ද එස්. කුලතිලක මහතා සිය අධ්‍යයනයන් තුළින් හෙළි කර ඇත.(සිරස පාද නැමැති යාග කවි ලංකාව් අදටත් ප්‍රකටය) හෙතෙම පවසන්නේ බලි පූජාව කෝට්‌ටේ යුගයේ ඇරඹි බවයි.
"බලි යනු පූජාව සඳහා වූ පදයකි. එහෙත් එම පූජා විශේෂය අනෙක් පූජාවන්ට වඩා වෙනස් වන්නේ එය කිසියම් රූපයක් මගින් කරන පූජාවක් හෙයිනි. බලි පූජා වර්ග 35 ක් පැරණි පොත පතෙහි සඳහන් වේ. ග්‍රහ අපල දුරු කරවා ගැනීම සඳහා මැටි රූප අඹා කරන ලද පූජා විශේෂය කෝට්‌ටේ යුගයේ ආරම්භ වී යෑයි සිතේ." (ලංකාවේ සංගීත සම්භවය, සී ද එස් කුලතිලක, 1974, ගොඩගේ).
බලි යාගයන් පිළිබඳ නවකේන්ද්‍ර බලි උපත උපුටා දක්‌වන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා සඳහන් කරන්නේ, 'බලි රූපය කහ දියරෙන් අනාගත් මැටියෙන් අඹාගන්නා බවත් හිරු ගේ රූපය රන්වන් පැහැ (කහ) සහ සඳු, අඟහරු, සුදු සහ රතු පැහැයෙනුත් නිම කර ගන්නා බවයි (ජනශ්‍රැතිය හා පුරා කථාව, පිටු 73, 74,)
මිනිසා තමාට එරෙහිව ආ බොහෝ දේ නපුරු යක්‌ෂ හා භූතයින් ගේ බලපෑමකැයි විශ්වාස කළ නිසා බලි සහ බිලි දීමෙන් ඔවුන් සතුටු කර ප්‍රිය ජනක දිවියක් ගත කිරීමත් භෞතික සැප සම්පත් ළඟා කර ගත හැකි බවත්, විවිධ ආකාරයන් ගෙන් ආදිම යුගයේ සිට සිතන්නට ඇතැයි ද විශ්වාසිත වන නමුදු වෛදික යුගයේ ප්‍රධාන දෙවිවරු අතර බ්‍රහ්ම, විෂ්ණු, අග්නි සූර්ය චන්ද්‍ර වායු මෙන්ම රුද්‍ර, ශිව ආදීන් හින්දු දේව මණ්‌ඩල ගත වීම සමග ද බලය ඒකරාශි වී ඇති ආකාරයත් දේව, යක්‌ෂ, අසුර යන විශ්වාසයනුත් බහුතරයක් හින්දු ජනයා බිලි පූජාව අනුමත නොකරන බවත් බොහෝ පර්යේෂකයින් පෙන්වා දෙන කරුණකි.
ලක්‌දිව මුලින් පදිංචි වූ ආර්යයන් තම ඉන්දීය ඥතීන්ගෙන් මු`ඵමනින්ම වෙනස් නොවූ බව පැහැදිලි කරුණක් වෙයි. මේ පිළිබඳව සඳහනක් කරන මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් පවසන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික හෝ ආගමික අතින් මහා දේශයෙහි හටගත් හැම විපර්යාසයක්‌ම ලාංකීය ජන ජීවිතය කෙරෙහි තරමක බලපෑමක් ඇති කළ නමුදු භාරතය සිය දරුවෙකුට සළකන සෙනෙහෙබර මවක් මෙන් ලංකාවට පිහිටට සිටි බවය (ලක්‌දිව බුදු සමයේ ඉතිහාසය, පිටු අංක 34, නව වැනි මුද්‍රණය, 2006, චතුර).
ලක්‌දිව පැරණි සන්දේශ සමයේ සමාජ තොරතුරු විමසීමේ දී විවිධ ශබ්ද පූජා පවත්වද්දී නානාවිධ සුවඳ දූපයන් මැද දමිළ ගීතිකා ගයන කෝවිල් පැවති බව තහවුරු කරයි.
කඵවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙ ළ
සුවිසල් විහිඟු සක් සන් මිණි හඬ පත ළ
කරලොල් සතන් පවසන කියු ගී දෙම ළ
වනකල් ඉසුරු කෝවිල ලගිනේ ලක ළ (සැල 22)
සැලළිහිණියා පළමු දිනයේ ලැගිය යුත්තේ ඉසුරු කෝවිලේ ය. එහි දේව පූජාවට ක`ඵවැල් කපුරු පු`ඵස්‌සා දුම් ගස්‌වයි, දුම ඇතුලේ කොඩි ද ලෙළ දෙයි. දෙමළ බෙර හඬ, හක්‌ගෙඩි නාද, මිණි ගෙඩි නාද ද වෙයි. එහි ස්‌ත්‍රොත්‍ර සඳහා පැවසෙන්නේ දෙමළ ගීතිකාවෝය.
ලක්‌දිව කෝට්‌ටේ යුගයේ පැවති ද්‍රවිඩ ආභාසය මින් ප්‍රකටවන අතර කෝවිල යනුවෙන් ඇමතීමෙන්ම ද්‍රවිඩ දේවාලයක් බව සනාථ කෙරෙන අතර තුති ගී ගයා තිබෙන්නේ දෙමළෙන් වන බැවින් රැස්‌ව ඇති පිරිස ද්‍රවිඩයෝ බව ද තහවුරු වෙයි. මේ දෙවොල දියවන්නා ඔයෙන් මෙගොඩ තිබෙන්නට ඇත. කෝවිල ළඟට කයිකාවිල සඳහන් වීමෙන් මෙය දුරින් පිහිටියක් නොවන බව පෙන්වා දෙන අතර ඒ මුරපළ පසු කරන විට හමු වන්නේ 'වල්අම්බලම' බව පවසයි, මෙය ද පිහිටියේ කෝට්‌ටේ අසල වල්පොළය. මේ අනුව හංසයෙහි ද සඳහන් තොට වීදිය ආසන්නයේම ඉසුරු කෝවිල පැවති බව අදහස් කෙරෙයි.
මයුර සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, කව්සි`ඵමිණෙහි එන සුරාපානෝත්සව, හංස සන්දේශයෙහි සඳහන් නලඟන නැටුම්, සැලළිහිණි අස්‌නෙහි දක්‌වන දේව භක්‌ති ප්‍රණාමය, ආදි වශයෙන් විවිධ සාහිත්‍ය කෘතීන් දක්‌වන ලක්‌දිව ඊශ්වර, ශිව වන්දනය පිළිබඳ අපමණ සාක්‌ෂි තුළින් භාරතීය සමාජ ආභාෂය හෙවත් සංස්‌කෘතිය විසරණය සිදුව ඇති ආකාරය මෙන්ම තත්කාලීන සමාජය අපූර්වත්වයකින් ප්‍රකට කරනු ලබයි. ලක්‌දිව සතුන් මරා බිලි දුන් දේවාලයක් වශයෙන් හලාවත මුන්නේශ්වරමෙහි දේවාලය ප්‍රසිද්ධය. භාරතීය දුර්ගා දෙවඟන ගේ අවතාරයක් ලෙස ද විශ්වාසිත වූ මෙම දෙවඟන වෙනුවෙන් විවිධ ප්‍රදේශයන්හි දේවාල පවත්වා ගෙන යන නමුදු ඒවායෙහි බිලි පූජා පවත්වන බවක් වාර්තා වී නොමැත. සෙනසුරාදා සහ බදාදා දිනවල පූජාවන් පවත්වන අතර ඊට පු`ඵටු වර්ග 5ක් එකතු කරමින් අතීත සම්ප්‍රදාය රකින බව විශ්වාස කළ හැක. දඩයම් හා මී කැඩීමට යන විට දී නෙලුන්ගොල්ලෑව, කුකුල්කොටුව ගම් වැසියන් මෙම දෙවඟන සිහිපත් කර මගට බසින අතර රඹෑව, හොරොව්පතාන වැසියන් වසංගත රෝග පිළිබඳව ඇති බිය නිසා මැය අදහන බවත් තලාව ප්‍රදේශයේ සශ්‍රීකත්වය පතා අදහන බවත් පැවසිය හැකිය. ඇතැමෙක් කාලිමෑණියන් වශයෙනුත් ඇය යක්‌ෂණියක ලෙසත් විශ්වාස කරමින් අන වින සඳහා සරණ පතන බව ද නිරීක්‌ෂණය වූ අවස්‌ථා එමටය.කෙසේ වුවද, ලක්‌දිව දේව මණ්‌ඩලයේ ද ඇය නපුරට කැමති කෙනෙක් වශයෙන් හැඳින්වෙයි. ඉතිහාසයේ එක්‌තරා යුගයක, වර්තමානයේ නපුරක් වශයෙන් දකින බිලි පූජාව ශේෂවී ගොස් ඇති ම්ලේච්ඡ ක්‍රියාවක් වශයෙන් සඳහන් කරද්දී, ආගමික නිදහස යෑයි කෙනෙක් නගන චෝදනාව වර්තමානයට කොතෙක් ප්‍රඥගෝචර ද යන්න විමසිය යුතු කරුණකි.
උපුටා ගැනීමකි....
සුනිල් කුමාරසිංහ අතුකෝරල
No comments:
Post a Comment