ඔබේ සුසිනිදූ දෑත උණුසුම් – ලොවම නිදිගත් සිසිරයේ
අමාවක රෑ කිමද සඳ අද – නැගී නුඹගේ මුදු වතේ
වෙන්ව යන්නට ඇවිත් කාලය – අතැර සෙනෙහස බැඳි හදේ
වැළඳ ගමි හඬනා පුතුන් දූ – වේදනාවේ ගංතෙරේ
වැටී නැගෙමින් මෙතෙක් ආ මග – වාරුවී එකිනෙක ගතේ
ඉතින් දැන් නුඹ යා යුතුය මග – මගේ සවියත් ගෙන හදේ
වන රකුසු කැළ සැඟව ඇති මග – නුඹ නසන්නට පා සෙනේ
නොරැඳී නුපුරුදු අඳුරු වනපෙත – නගනු පියවර එක සැනේ
නැගුනු තණ්හා දැරූ ආශා – අඳුරෙ අතගෑ දිවි මගේ
කෙලෙස කියමිද පිරූ බව බොදු – දහම් පිළිවෙත් හැම පැයේ
බියක් නැත මට වෙන්ව යන්නට – නරකයට හෝ මොක්පුරේ
මහද සසලව බියෙන් වැළපෙයි – සිහිව නුඹගේ හෙට දිනේ
කඳුළු බිඳුවට දැවී උණුසුම් – නැගී කැළැල් ඒ දෙකොපුලේ
සිපගනිමි නුඹ සැවොම අවසන්- වරට නෙතු පියවෙන පැයේ
අහිංසක දු පුතුන් සමගින් – තනිව ඔබ යන ගිරි මගේ
වෙසින් තරුවක් ඉහල අහසේ – වෙමි එලිය දෙන නුඹේ ලොවේ
No comments:
Post a Comment